පසුගියදා රටම හඩවමින් අප අතරින් වියො වූ ඒ අසහාය මිනාසා ලෙස්ටර් ඡේම්ස් පීරිස් මහතාගේ නිවසින් සොරාගත් රණමයුර සම්මානය පිළිබදව පසුගිය දිනවල දැඩි කතාබහක් ඇති වූ අතර මෙම සිදුවීම මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් වීමත් සමග කඩුවෙල කොල්ලුපිටිය 177 සුඛෝපභෝගි පෞද්ගලික බස් රථයක දමාගොස් තිබියදී මෙම සම්මානය හමුවූ බවද වාර්තා විය.
මෙම සම්මානය සොරා ගත් ගැට කපන්නන් සිව්දෙනකු කොල්ලුපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් පවසා ඇත්තේ මෙම සම්මානය සොරා ගැනීම පිළිබඳව මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් ලැබීම නිසා තමන් දැඩිලෙස බියට පත්වු බැවින් සම්මානය බස් රථයක දමා ගිය බවයි.
සමිමානයට අමතරව ලෙස්ටර් ඡේම්ස් පීරිස් මහතාගේ නිවසින් ඇපල් වර්ගයේ ජංගම දුරකථනය සොරාගෙන ඇත්තේද මෙම සැකකරුවන් විසින් බවට විමර්ශනවලදී හෙළිවී ඇත. එම ජංගම දුරකථනය අලෙවි කර තිබූ අතර ඊයේ (06 ) රාත්‍රිය වන විට එය පොලිසිය භාරයට ගත් අතර එම ජංගම දුරකථනයද ආපසු පීරිස් මහතාගේ නිවසට ගෙනවිත් දැමීමට තමන් සූදානමින් සිටි බව සැකකරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
පොලීසිය විසින් තවත් විශේෂ කරුණක් අනාවරනය කර ගෙන ඇත.එනම් ලෙස්ටර් ඡේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍යයට පැමිණි ප්‍රබල දේශපාලනඥයකුගේ මුදල් පසුම්බියකුත් මෙම සැකකරුවන් විසින් අවමංගල්‍යය උත්සවයේ තදබද අවස්ථාවකදී සොරාගෙන ඇති බවයි. තම මුදල් පසුම්බිය සොරාගැනීම සම්බන්ධයෙන් දේශපාලනඥයා පොලිසියට පැමිණිල්ලක් කර නොතිබිණි.
ධනවත් පුද්ගලයන්ගේ අවමඟුල් උත්සවලට පැමිණ කලබල අවස්ථාවල නිවෙස්වල ඇති වටිනා දේපළ සොරා ගැනීම මොවුන් වෘත්තිය ලෙස කරගෙන ගොස් ඇත. සුගතදාස ක්‍රීඩාංගණයේ ඊයේ (06 දා) පැවති එක්සත් ජාතික පක්ෂ මැයි රැලියට සහභාගි වන ධනවත් පුද්ගලයින්ගේ මුදල් පසුම්බි සොරාගැනීමට තමන් සැලසුම් කරගෙන සිටි බවද අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත.
මෙම සැකකරුවෝ සිව්දෙනා කඩුවෙල, මතුගම, නාවලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව කියවේ. මොවුන් දීර්ඝ කාලයක සිට ගැට කැපීම සිය වෘත්තිය ලෙස කරගෙන ගොස් ඇති බව පොලිස් ප්‍රශ්නකිරීම් හමුවේ අනාවරණය වී ඇත.