කූඨ අතරමැදියන්ගෙන් එළවළු ගොවියා සහ පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සදහා රජය විසින් හෙට (11) දින සිට විශේෂ මිලක් යටතේ ගොවීන්ගෙන් ඍජුවම එළවළු මිලදී ගැනීම සිදුකරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
අද (10* පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා මේ බව හෙළි කළේය. එහිදී අදාළ වැඩපිළිවෙළ ගැන වැඩි දුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා,
‘දේශීය එළවළු ගොවියා ගේ සියලුම එළවළු තොග හෙට (11) දින සිට විශේෂ මිල ගණන් යටතේ මිලදී ගැනීමට රජය තීරණය කරලා තිබෙනවා. මේ කටයුතු සිද්ධ වෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහායි.
ඒ අනුව දඹුල්ල ගම්උදාව ක්‍රීඩාපිටිය, දඹුල්ල පරණ සති පොළ භූමිය, විහාරය රථ ගාල, පැල්වෙහෙර රජයේ ගොවිපල, ගලේවෙල ක්‍රීඩාංගනය, දේවහුව ගොවිජන සේවා මධ්‍යස්ථානය, ලග්ගල ගොවිජන සේවා මධ්‍යස්ථානය, වීල්ගමුව ගොවිජන සේවා මධ්‍යස්ථානය, නාවුල අලුගොල්ල ගොව්ජන සේවා මධ්‍යස්ථානය යන ස්ථානවලදී හෙට 11 දින උදේ සිට සවස් වනතුරුම ගොවීන් රැගෙන එන එළවළු තොග සියල්ලම රජය මිලදී ගැනීම සිදුකරනවා.
ආර්ථික මධ්‍යස්ථාන බොහොමයක් මේ වන විට වසා දමා තිබීම හේතුවෙන් ඉතා කූට ලෙස අහිංසක ගොවීන්ගේ භවභෝග ඉතා අඩු මුදලකට ලබාගෙන පාරිභෝගික ජනතාවට වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීමේ ක්‍රමවේදයට තිත තැබීම කළ යුතුුයි. ඒ වගේම විශාල වශයෙන් ගොවීන් තැන තැන අනාරක්ෂිත ලෙස ගැවසීම වැළැක්වීමත් කළ යුතුයි. මේ කටයුතු දෙකම ඉටුකර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරලයි අපි මේ තීරණය ගත්තේ.
මේ එළවළු තොග අවශ්‍ය ප්‍රදේශවලට බෙදා හැරීම සිදුවන්නේ ද එළවළු ආවශ්‍ය ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහායි. ඒ අනුව එළවළු අවශ්‍ය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මේවා බෙදා හැරීම සිදු කරනවා.
මේ හරහා අපිට එළවළු ගොවියා ආරක්ෂා කිරීමට වගේම පාර්භෝගික ජනතාව ආරක්ෂා කිරීමටත් හැකියාව ලැබෙනවා. මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සදහා සියලු පාර්ශ්වවල උපරිම සහාය අපි අපේක්ෂා කරනවා.

