අගමැති වැය ශීර්ෂය අත්හිටුවීමේ විවාදය 29දා – ඇමැති වියදම් කපන්නත් එජාපයෙන් යෝජනාවක්

අගමැති වැය ශීර්ෂය අත්හිටුවීමේ විවාදය 29දා – ඇමැති වියදම් කපන්නත් එජාපයෙන් යෝජනාවක්
Spread the love

අගමැතිවරයාගේ සහ අගමැති කාර්ය මණ්ඩලයේ වැය ශීර්ෂය අත්හිටුවන ලෙසට එක්සත් ජාතික පෙරමුණු විසින් පසුගිය සඳුදා (19) කථානායකවරයාට භාරදුන් යෝජනාව මෙම 29 වැනිදා විවාදයට ගැනීම සඳහා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ. 

නවීන් දිසානායක, රවි කරුණානායක, නාලක ප්‍රසාද් කොලොන්නෙ, වෛද්‍ය කාවින්ද ජයවර්ධන, හෙක්‌ටර් අප්පුහාමි සහ චතුර සේනාරත්න යන එජාප මන්ත්‍රීවරුන් විසින් මෙම යෝජනාව කථානායකවරයාට භාර දෙනු ලැබූහ.

මේ අතර ආණ්‌ඩුවේ ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ට ගෙවන වැටුප් හා දීමනා ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්‌ඩලයට ගෙවන දීමනා විදෙස්‌ ගමන් සහ දේශීය ගුවන් ගමන් සඳහා වියදම් සියල්ල අත්හිටුවන ලෙසටද යෝජනාවක්‌ එජාප මන්ත්‍රීවරුන් හයදෙනකු විසින් ඊයේ (21) පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට භාරදී ඇත.

රාජිත සේනාරත්න, රවි කරුණානායක, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග, මනෝ ගනේෂන් සහ ජයම්පති වික්‍රමරත්න යන මහත්වරු මෙම යෝජනාවට අත්සන් තබා ඇත.

මෙකී යෝජනාවද පාර්ලිමේන්තු න්‍යාය පුස්‌තකයට ඇතුළත් කර විවාදය සඳහා දින නියම කරන ලෙස මෙම මන්ත්‍රීවරුන් මහ ලේකම් වරයාගෙන් ඉල්ලා සිටිති.

ජනරජයේ අරමුදල්වලින් කවර හෝ වියදම් අනුමත කිරීම සඳහා අගමැති ලේකම්වරයාට කිසිදු බලයක්‌ නොමැති බව අගමැතිවරයාගේ වියදම් – අත්හිටුවීම පිළිබඳ න්‍යාය පුස්‌තකයට ඇතුළත් කර ඇති යෝජනාවේ දැක්‌වේ.

පසුගිය 14 දා සම්මත කර ගත් ආණ්‌ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවේ දෙවැනි ඡේදයට අනුව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 48 වැනි ව්‍යවස්‌ථාව ප්‍රකාරව ඇමැති මණ්‌ඩලය විසිරී ඇති බවට කථානායකවරයා විසින් පසුගිය 15 වැනිදා කළ නිල ප්‍රකාශය පාර්ලිමේන්තුව විසින් 16 දා පිළිගත් බවද යෝජනාවේ දැක්‌වේ.

ඒ අනුව ව්‍යවස්‌ථාවේ 48 වැනි ව්‍යවස්‌ථාවට අනුව පසුගිය ඔක්‌තෝබර් 26 දා සිට මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ආණ්‌ඩුව කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසයක්‌ නැති බවට සභාව විසින් තවදුරටත් යෝජනා සම්මත කරගත් බවද එහි දැක්‌වේ.

එනිසා ව්‍යවසAථාවේ 148 වැනි ව්‍යවස්‌ථාවෙන් බලය පැවරී ඇති පරිදි රාජ්‍ය මූල්‍යය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු බව පවසන එජාප මන්ත්‍රීවරුන් ඒ අනුව 2018 නොවැම්බර් 15 දා සිට ජනරජයේ අරමුදල් වලින් කිසිදු වියදමක්‌ අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට කිසිදු බලයක්‌ නොමැති බව යෝජනා කර ඇත.

එමෙන්ම මෙකී යෝජනා සම්මතය උල්aලංඝනය කරමින් කවර ක්‍රියාමාර්ගයක්‌ හෝ ගන්නා තැනැත්තකුට එරෙහිව නීතිමය පියවර ගනු ලබනු ඇතැයි අදාළ යෝජනාවේ දැක්‌වේ.

අටවැනි පාර්ලිමේන්තුව තෙවැනි සභාවාරයට අදාළ පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්‌තකයේ නොවැම්බර් 29 වැනිදා බ්‍රහස්‌පතින්දා යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු යටතේ යෝජනාව ඇතුළත් කර තිබේ.