අග්නිදිග සරසවි සිසුන්ට තවම සාධාරණයක් නෑ…

අග්නිදිග සරසවි සිසුන්ට තවම සාධාරණයක් නෑ…
Spread the love

අග්නිදිග සරසවියේ තාක්ෂණ පීඨයේ වසරක් තිස්සේ ඇති අර්බුදය සම්බන්ධයෙන් අද (07) එහි නිසි බලධාරිනිය මහාචාර්ය උමා කුමාරස්වාමි මහත්මිය සහ ශිෂ්‍ය නියෝජිතයන් අතර පැවැති සාකච්ඡා අසාර්ථක වූ බව එම විශ්ව විද්‍යාලයයේ ආරංචි මාර්ග කියයි.
 
පන්ති තහනම් කළ සහ ශිෂ්‍ය භාවය අහෝසි කළ සිසුන්ට එරෙහි දඩුවම් ඉවත් කිරීම, පරිපාලන අර්බුදය නිසා මහ හැරුණු සෙමෙස්තර විභාග දෙක යළිත් වරක් පැවැත්වීම, විභාගවල පෙනී සිටිද්දී දිවුරුම් ප්‍රකාශ අනිවාර්ය  කර තිබීමේ නීතිය ඉවත් කිරීම ආදී ඉල්ලීම් හයක් ශිෂ්‍ය නියෝජිතයෝ අද (07)  නිසි බලධාරිනියට ඉදිරිපත් කළහ.
 
සිසුන් විභාගවලට පෙනී සිටීම නම්   උද්ඝෝෂණවලට සහභාගී නොවන බවට මීට පෙර දිවුරුම් ප්‍රකාශ ඉල්ලා තිබිණි. එය අසාධාරණ තීන්දුවක් බැවින් එලෙස දිවුරුම් ප්‍රකාශ අවශ්‍ය නොවන බව නිසි බලධාරිනිය සිසුනට ප්‍රකාශ කළ බව ආරංචි මාර්ග සදහන් කරයි.
 
විනය ක්‍රියාමාර්ග ගත් සිසුන් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවත්, පසුගිය වසරේ විභාග දෙක යළි පැවැත්වීම ගැන තීන්දුවක් නොලැබුණු බවත්, මේ වසරේ ජනවාරි සිට ඇති ගැටලුවලට පමණක් විසදුම් ලබා දීමට හැකි බව පාලනාධිකාරිය පැවසූ බවත් සිසුහු කියති.
 
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක මුලින්ම තාක්ෂණ පිඨයක් ආරම්භ වූයේ අග්නිදිග සරසවියේය. එසේ වුවත් පසුගිය අප්‍රේල් මාසයේ සිට පරිපාලනය සහ සිසුන් අතර ඇතිවූ ආරවුල්වලින් පසු අවස්ථා කිහිපයකදී පීඨය තාවකාලිකව වසා දැමිණි. සිසුන්ට විභාගවලට පෙනී සිටීමේ අවස්ථාව ඇහුරා අතැයි කියමින් තාක්ෂණ පීඨ සිසුහු පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට අඛණ්ඩ පන්ති වර්ජනයක නිරතව සිටිති. 
 
අග්නිදිග සරසවියේ හිටපු උපකුලපති මහාචාර්ය එම් එම් එම්  නජීම් මහතාගේ කාලය අවසන්වීමෙන් පසු එහි පරිපාලන අර්බුදය විසඳීම සඳහා උසස් අධ්‍යාපන ඇමැතිවරයා විසින් පසුගියදා නිසි බලධාරිනියක ලෙස මහාචාර්ය උමා කුමාරස්වාමි මහත්මිය පත් කරනු ලැබුවාය.
 
මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී එච් අබ්දුල් සත්තාර් මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ මාධ්‍යයට අදහස් දැක්විය නොහැකි බවයි.   අග්නිදිග සරසවියේ නිසි බලධාරිනිය මහාචාර්ය උමා කුමාරස්වාමි මහත්මිය සමඟ අද පැවැති සාකච්ඡා ගැන විමසීමට ඒ මහත්මිය සම්බන්ධ කර ගැනීමට කිහිප අවස්ථාවකම උත්සාහ කළත් එය අසාර්ථක විය.