අතවර කිරීම් සහ පැහැරගැනීමක් සම්බන්ධව ලිදුලනගරාධිපති අත්අංගුවට

අතවර කිරීම් සහ පැහැරගැනීමක් සම්බන්ධව ලිදුලනගරාධිපති අත්අංගුවට
Spread the love

ආගරපතනේ පදිංචි 26 හැවිරිදි දෙදරු මවක හා ඇගේ අවුරුදු 5 1/2 වයසැති දියණිය හා 2 1/2 ක්‌ වයසැති පුතෙකු පැහැර ගෙන ගොස්‌ වැඩිමහල් දරුවා විකිණීම හා අදාළ කාන්තාව අතවරයට පත් කළැයි චෝදනා යටතේ නුවරඑළිය පොලිසිය විසින් ළිඳුල තලවකැලේ පුරපතිවරයාත්. එහි සභිකයකුත්, ආගරපතන ඩයගම රෝහලේ සේවකයකුත්, තලවකැලේ ත්‍රිරෝද රථ රියදුරෙකුත් පෙරේදා (03) රාත්‍රියේ දී අත්අඩංගුවට ගන්නා ලදී.

කාන්තාවක හා දරුවන් දෙදෙනකු පැහැර ගෙන ගොස්‌ එම කාන්තාවට අතවර කිරීමේ චෝදනාව මත නුවරඑළිය පොලිසිය මගින් පෙරේදා (03 දා) රාත්‍රි අත්අඩංගුවට ගත් තලවකැලේ ලිඳුල නගර සභාවේ නගරාධිපති අශෝක සේපාල සහ එම නගර සභාවේ මන්ත්‍රී ඉෂාර අනුරුද්ධ මංචනායක ඇතුළු සිව්දෙනකු ලබන 11 වැනිදා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස නුවරඑළිය මහෙස්‌ත්‍රාත් ප්‍රබෝධ ජයසේකර මහතා ඊයේ (04) නියෝග කළේය. 

රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු අනෙක්‌ දෙදෙනා ආගරපතන ඩයගම රෝහලේ සේවකයකු වන හේරත් මුදියන්සේලාගේ තිලකරත්න සහ ත්‍රිරෝද රථ රියෑදුරෙකු වන ආගරපතන පදිංචි ඔරාකඳ ලියනගේ ජයන්ත පීරිස්‌ යන අය වෙති.

ආගරපතන පදිංචි ජයන්ත නමැත්තා 2017.06.04 දින දුරකථනය ඔස්‌සේ කථා කොට ආගරපතනේ සිය දරුවන් දෙදෙනා සමග වාසය කළ මෙම කාන්තාවට රැකියාවක්‌ ලබා දෙන පොරොන්දුව මත ලියකියවිළි හා ඇඳුම් පැළඳුම් රැගෙන තලවාකැලේ බස්‌ නැවතුම්පළට පැමිණෙන ලෙස දන්වා ඇත.

ඉන් පසු ඉෂාර මංචනායක නමැත්තාගේ නිවසේ දින කීපයක්‌ අදාල කාන්තාව හා දරුවන් දෙදෙනා රඳවා තබා ඇත. එම කාලය තුළදී පැමිණිලිකාරියගේ ජංගම දුරකථනයේ සිම් කාඩ් පත විනාශ කර දමා ඈ හා අනෙකුත් අය අතර තිබු සම්බන්ධතා බිඳ දමා ඇති බව කියති. ඉන් පසු ඉෂාර යන අයගේ සහෝදරයකුගේ නිවසේ ද දින කීපයක්‌ රඳවා තබා ඉන් අනතුරුව අශෝක සේපාල නමැති අය හමුවට කැඳවාගෙන ගොස්‌ ඇත. එහිදී ලිපි කීපයකට අත්සන් ලබා ගෙන ඇති අතර කාන්තාවගේ වැඩිමහල් ගැහැනු දරුවා සැකකරුවන් විසින් රඳවාගෙන කාන්තාවගේ කුඩා දරුවා වෙනත් නිවසකට කැඳවාගෙන ගොස්‌ ඇත. ඉන් පසු තිලකරන්න නමැති සැකකාර ත්‍රී රෝද රථ රියදුරුගේ නිවසේ අදාල කාන්තාවත් දරුවාත් නතර කර ඇති අතර දින කීපයක්‌ එහි නතරව සිටි කාන්තාව තිලකරන්න නමැත්තා විසින් කොළඹ කැඳවාගෙන ගොස්‌ ආමර් වීදියේ පිහිටි විදේශ රැකියා ඒජන්සියකින් ගමන් බලපත්‍රයක්‌ පිළියෙළ කර දී ඇත. එහෙත් ඇය අතට ගමන් බලපත්‍රය ලබා දී නැත. මේ අතර කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියුතු කාන්තාවගේ සැමියා තම බිරිඳ හා දරුවන් ආගිය අතක්‌ නැති බවට ආගරපතන පොලිසියට පැමිණිල්ලක්‌ කර ඇත. සැකකාර තිලකරත්නගේ නිවසේ කාන්තාව රැඳී සිටින අවස්‌ථාවේදී පිරිමි ළමයා ද සැකකරුවන් විසින් රැගෙන ගොස්‌ ඇත්තේ කාන්තාව ඊට රැකියාවකට යන නිසා දරුවාගේ රැකවරණය සැපයීමට යනුවෙන් පවසමිනි. රැකියාව සඳහා අදාළ කටයුතු සම්පාදනය කිරීමට සැකකාර තිලකරත්න නමැත්තා සමග ගමන් බිමන් යද්දී ඔහු විසින් පැමිණිලිකාරිය කෙළෙසූ බවට ඇය විසින් කරුණු දක්‌වා ඇත.

පැමිණිලිකාරියගේ සැමියා විසින් ආගරපතන පොලිසියට කළ පැමිණිල්ල පිළිබඳ විමර්ශනයක්‌ කරන බවට තොරතුරු ලැබීමෙන් පසු සැකකරුවන් විසින් කාන්තාව බත්තරමුල්ලේ නිවසකටත් ඉන්පසු පිළියන්දල නිවසකත් සේවයට යවා ඇත. පිළියන්දල නිවසේ සේවය කරද්දී තමාට සිදුවූ අතවර හා දරුවන් දෙදෙනා පිළිබඳව තොරතුරු අනාවරණය කළ බව පොලිසියේ පැමිණිලි කර ඇත.

පැමිණිලිකාරිය කුඩා කාලයේ දී මව මිය යාමෙන් අනතුරුව අවුරුදු 19 ක්‌ පිළියන්දල එස්‌ ඕ එස්‌ ළමා නිවාසයේ රැඳී සිටි නිසා ඇය තමා පත්වී ඇති තත්ත්වය පිළිබඳ එස්‌. ඕ. එස්‌ ළමා ගම්මානයේ කාර්යය මණ්‌ඩලයටද දන්වා ඇත. ඒ හේතුව මත පැමිණිලිකාරියට ඇගේ ස්‌වාමියා යළි මුණගැසී ඇත. ඉන් පසුව මෙම පැමිණිලිකාරිය විසින් පෙරේදා නුවරඑළිය මූලස්‌ථාන පොලිසියට පැමිණ සියලු සිද්ධීන් අනාවරණය කර ඇති බව නුවරඑළිය පොලිසිය සඳහන් කරයි.

මෙම පැමිණිල්ල පිළිබඳව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එස්‌. එම්. වික්‍රමසිංහ, නුවරඑළියේ නියෝජ්‍ය පොලිස්‌පති ඊ. ජයසුන්දර යන මහත්වරුන්ගේ උපදෙස්‌ පරිදි නුවරඑළිය පොලිස්‌ අධිකාරී අයි. බී. ටී. සුගතපාල මහතාගේ මෙහෙයවීම මත නුවරඑළිය මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක චන්දන බස්‌නායක, ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එම්. බී. අයි. ඉන්ද්‍රජිත්, පොලිස්‌ පරීක්‍ෂක චන්දන රණසිංහ, අපරාධ කොට්‌ඨාස ඒකකයේ පොලිස්‌ පරීක්‍ෂක චන්දන හල්පාගොඩ, ළමා හා කාන්තා කාර්යාංශ ඒකකයේ උප පොලිස්‌ පරීක්‍ෂක ඒ. පී. යොෂානි යන මහත්ම මහත්මීන් ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ පවත්වා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

පැමිණිලිකාරියගේ අවු 5 1/2 වයසැති දැරිය ගාල්ල ප්‍රදේශයේ පදිංචි යුවළක්‌ විසින් ඊයේ නුවරඑළිය පොලිසියට රැගෙන පැමිණ සිටි අතර අවුරුදු 2 1/2 ක්‌ වයසැති පිරිමි දරුවා පතන විහාරස්‌ථානයක සිටිය දී පොලිසිය විසින් සොයාගෙන ඇත.