බොහෝ ප්‍රදේශවලට බලපෑ අධික වැසි නිසා හටගත් ජලගැලීම්, පස් කඳු කඩාවැටීම් හේතුවෙන්, ඊයේ (7) සවස වන විට පුද්ගලයන් 4 දෙනෙක් මියගොස් තවත් හතර දෙනෙක් තුවාල ලබා සිටියහ.
සැඩපහරට හසුවීමෙන් මතුගම ප්‍රදේශයේ එක් පුද්ගලයකු මියගොස් ඇති අතර වැසි ජලයේ ගිලීමෙන් කළුතර ප්‍රදේශයේ තවත් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇත. ගාල්ල ප්‍රදේශයේද එක් පුද්ගලයකු මියගොස් ඇත. ඊට අමතරව කළුතර, නෑබඩ නිවාස 2ක් මතට ඊයේ (7) අලුයම පස් කන්දක් කඩා වැටීම නිසා සිවුදෙනෙකු තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර තිබේ.
මේ අතර වැසි ආපදා තත්ත්වයන් නිසා ඊයේ (7) සවස වන විට පුද්ගලයන් දසදහසකට ආසන්න පිරිසක් පීඩාවට පත්වී ඇත. ඉන් වැඩිම බලපෑමක් එල්ල වී තිබුණේ ගාල්ල දිස්ත්‍රික්කයටය. එහි පවුල් 131ට අයත් පුද්ගලයන් 8469 දෙනෙක් මෙලෙස පීඩාවට පත්වී ඇත.
ඊට අමතරව බොහෝ ප්‍රදේශවල මාර්ග රැසක් ජලයෙන් යට වුණු අතර මතුගම අලුත්ගම මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශයේ ජලයෙන් යටවීම නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම් මාර්ගය තාවකාලිකව වසා දමා තිබිණි.
මේ අතර කළුතර අගලවත්ත වළල්ලාවිට ආදි ප්‍රදේශවල වර්ෂාවත් සමග දැඩි නාය යාමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම නිසා එම ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳ දැඩි විමසිල්ලකින් පසුවිය යුතු බවද එම සංවිධානය පෙන්වා දෙයි.