ආර්ථිකයත් ගංවතුරෙද ? ගංවතුර විපතේ ආර්ථික බලපෑම් මෙන්න…

Spread the love

ජලය අපට සම්පතකි. එහෙත් ගංවතුර ජනතාවට විපතකි. මේ අවස්‌ථාවේ ගංවතුර තත්ත්වය සහ නායයැම් නිසා අපේ ජනතාවට මහත් විපතක්‌ සිදුව තිබේ. අනපේක්‍ෂිතව මහ වැසි ඇදහැලීම නිසා මේ ගංවතුර තත්ත්වයන් සහ නායයැම් සිදුවිය. වර්ෂාව නතර කිරීමට ආණ්‌ඩුවට නොහැකිය. එසේම වෙනත් ආපදා සිදුවීම නතර කිරීමද ආණ්‌ඩුවකට කළ නොහැකිය. එහෙත් යම් ආපදාවකට පෙරත් පසුත් එහි හානිය සහ බලපෑම් අවම කර ගැනීමට අපට කළ හැකි දේවල් තිබේ. රජයක්‌ පියවර ගත යුතු වන්නේ ඒ වෙනුවෙනි. ආපදා කළමනාකරණයේදී එය සිදු විය යුතු දෙයකි. බොහෝ විට අපේ රටේ සිදුවන්නේ ආපදාවක්‌ සිදු වූ පසු ඒ සඳහා සහන සැලසීම ඇතුළු වෙනත් ක්‍රියා මාර්ග ගැනීමයි. එහෙත් එය ආපදා කළමනාකරණයෙන් කොටසක්‌ පමණි. මේ නිසා ආපදාවලදී සිදුවන මිනිස්‌ ජීවිත හා දේපළ හානිය අතිවිශාලය. මේ අවස්‌ථාවේදීත් ගංවතුර හා නායයැම් නිසා සිදුව ඇති මිනිස්‌ ජීවිත දේපළ විනාශය අතිවිශාලය. මේ ලිපිය ලියමින් සිටින අවස්‌ථාව වන විට වාර්තා වී තිබූ මරණ ගණන 202 කි. අතුරුදන් වීම් ප්‍රමාණය 96 කි. මේ ලිපිය ඔබ කියවන විට ඇතැම් විට මේ මරණ ගණන තවත් ඉහළ ගොස්‌ තිබෙන්නටද පුළුවන. මිනිස්‌ ජීවිත විනාශය අපට මුදලින් මනින්නට පුළුවන් කමක්‌ නැත. තවමත් තක්‌සේරු කර නැතත් මහජනයාගේ දේපළ විනාශය නම් තක්‌සේරු කළ හැකිය. ඊට අමතරව රටේ යටිතල පහසුකම්වලටද විශාල හානියක්‌ සිදුව තිබේ. මේ පසුබිම තුළ මේ විපතේ ආර්ථික බලපෑම් පිළිබඳව මේ ලිපියෙන් අපි සාකච්ඡා කරමු.

මේ රජය බලයට පත් වීමෙන් පසු අයහපත් ආර්ථික කළමනාකරණයේ අහිතකර බලපෑම්වලට අමතරව ස්‌වභාවික ආපදාවලින්ද රටේ මහජතාවට බොහෝ පීඩා විඳින්නට සිදුව ඇත. ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කිරීමට නොහැකි වීම ද මහජනතාවට ඇති කරනුයේ විපතකි. පීඩාවකි. එසේම ස්‌වභාවික ආපදා නිසාත් ජනතාවට මෙන්ම රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයටත් ඉමහත් හානි සිදුවෙමින් තිබේ. නිසි ආපදා කළමනාකරණයක්‌ නොමැති නිසාත් ඇතැම් අහිතකර මිනිස්‌ ක්‍රියා කාරකම් නිසාත් මේ ආපදාවල බලපෑමද වැඩි වී තිබේ. මේ නිසා විපතේ ස්‌වභාවය හා ප්‍රමාණය විශාල වී තිබේ. කෙසේ හෝ මේ ඉමහත් විපත දැන් සිදුව හමාරය. මේ ගැන දේශපාලනිකව එකිනෙකාට දොස්‌ නගාගනිමින් සිටින බවක්‌ද පෙනේ. එහෙත් අවශ්‍ය වන්නේ සියලු දෙනා එකතු වී මේ විපතින් ගොඩඑන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි.

විපත සිදුවන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම ආපදා කළමනාකරණ ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ද රටේ සිටියේත් නැත. ආපදා කළමනාකරණ ඇමැතිවරයා සහභාගී වීමට ගිය විදෙස්‌ සමුළුව මැයි 26 දින අවසන්ව තිබූ බවද වාර්තා වේ. අගමැති රනිල් වික්‍රමසිංහ නම් ගංවතුර විපත සිදුවන විට රටේ සිටියේය. එහෙත් ඔහු දැන් රටේ නැත. ඇමති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළ පරිදි ඔහු ඇමෙරිකාවට ගියේ වෛද්‍ය පරීක්‍ෂණ සඳහාය. ඒ සඳහා ද මාස 18 ක ප්‍රමාදයක්‌ සිදුව තිබූ බව ද පවසමින් ඇමැති රාජිත, අගමැතිවරයාගේ රට ගමන සාධාරණීකරණය කළේය. ජනාධිපතිවරයාගේ, ආපදා කළමනාකරණ ඇමතිවරයාගේ මෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ විදෙස්‌ ගමන් කලින් සැලසුම් කළ ඒවා නිසාත් ආපදා කලින් කිය කියා පැමිණෙන්නේ නැති නිසාත් ඔවුන් විදේශගත වීම ගැන අප දොස්‌ කියන්නේ නැත. විපත සමනය කර ගැනීම සඳහා රජය පැත්තෙන් ගත යුතු පියවර නිසි පරිදි ගන්නවා නම් විය යුත්තේ එයයි. එහෙත් එවැනි තත්aත්වයක්‌ද දක්‌නට නොලැබිණි. ඒ නිසා මේ අයට අප කියා සිටින්නේ විශාල පිරිසක්‌ මියගොස්‌ තවත් විශාල පිරිසක්‌ අතුරුදන්ව මහජන දේපළ සහ රටේ යටිතල පහසුකම් විනාශයට පත්ව ඉමහත් විපතක්‌ සිදුව ඇති මොහොතක රජයක්‌ ලෙස සහ රජයේ වගකිව යුත්තන් ලෙස මීට වඩා වැඩි වගකීමකින් ක්‍රියා කළ යුතු බවයි. ආපදා කළමනාකරණ ඇමැතිවරයා ලෝකයේ මොන උත්සවයකට ගියත් තම රටේ බලවත් ආපදාවක්‌ ඇති වූ බව දැනගත් විට ඒ කටයුතු කඩිනමින් නිම කොට ඔහු වහාම සිය රටට පැමිණිය යුතුය. මේ විපතින් ගොඩ ඒමේ ක්‍රියාවලියට නායකත්වය දිය යුත්තේ ඔහුයි. ඒ වගකීමද ඔහු අතින් නිසි ලෙස ඉටුව නැත. ඔහු පැමිණි පසු එය සාධාරණීකරණය කිරීම සඳහා නොයෙකුත් කතන්දර කියනු නිසැකය. මෙලෙස රජයේ වගකීම් නිසි ලෙස ඉටු නොවන තත්ත්වය හමුවේ මහජනතාව විසින් ස්‌වේච්ඡා වෙන්ම සංවිධානය වී විපතට පත් ජනතාවට පිහිට වීමට බොහෝ දේ කළේය. ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට මෙන්ම ඔවුන්ට ආහාර පාන ලබාදීමට ද බොහෝ දේ කළේය. මාධ්‍ය ආයතනද මේ මොහොතේ ස්‌ෙච්ඡාවෙන් ඉදිරිපත්ව ජනතා ආධාර එකතු කරමින් ඒවා අදාළ විපතට පත් ජනතාව අතට පත් කිරීම සඳහා කළ මෙහෙය ද අති විශාලය. මාධ්‍ය ආයතන ගැන නොයෙක්‌ අයට නොයෙකුත් විවේචන තිබෙන නමුත් ඔවුන් විපතට පත් ජනයා වෙනුවෙන් මේ අවස්‌ථාවේ කළ මෙහෙය අගය කළ යුතුය. එය රජයද ඇගයීමට ලක්‌ කළේය.

ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල ආර්ථික කටයුතුවලට හානි සිදු වී ඇති අතර එම තත්ත්වය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා වහාම රජය මැදිහත් වී ක්‍රියා කළ යුතුව තිබේ. මේ සඳහා රජය විසින් කමිටුවක්‌ද පත්කර ඇති අතර එහි කැඳවුම්කරු ලෙස කටයුතු කරන්නේ රාජ්‍ය ව්‍යාවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතාය. එහි රැස්‌වීමක්‌ ඉකුත් මැයි 29 දින අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි. මෙය කැඳවා තිබුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නියමය පරිදිය. මෙහි මූලික අරමුණ වූයේ ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල ව්‍යාපාර හා ආර්ථික කටයුතු නැවත නගා සිටුවීමට අවශ්‍ය පියවර සැලසුම් කිරීමයි. එය අත්‍යවශ්‍ය දෙයක්‌ බවට කිසිම සැකයක්‌ නැත. කබීර් හෂීම් ඇමැතිවරයා ඇතුළු තවත් ඇමතිවරු කීප දෙනෙක්‌ සහභාගී වූ මේ රැස්‌වීමට ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය හා පෞද්ගලික බැංකු ප්‍රධානීන් සහ මූල්‍ය හා කල්බදු ආයතන ප්‍රධානීන්ද කැඳවා තිබුණි. මෙම රැස්‌වීමේදී ගන්නා ලද ප්‍රධාන තීරණ මෙසේය.

Ö විපතට පත් ප්‍රදේශවල පදිංචි ජනතාව විසින් ලංකාවේ පුද්ගලික හා රාජ්‍ය යන කවර බැංකුවකින් හෝ ලබා ගෙන තිබෙන පුද්ගලික හෝ ව්‍යාපාරික ණය නැවත ගෙවීම සඳහා සහනයක්‌ ලබා දීම.

මේ අනුව සහනයන් සම්බන්ධයෙන් චක්‍රලේඛයක්‌ නිකුත් කරන ලෙස අදාල අමාත්‍ය කමිටුව මහ බැංකු අධිපතිවරයාට උපදෙස්‌ දී ඇත.

Ö ගංවතුර හේතුකොට ගෙන ආර්ථික කටයුතුවලට සිදු වූ හානිය හා පසුබෑම සම්බන්ධයෙන් සියලු දිසාපතිවරුන්ගෙන් විස්‌තරාත්මක වාර්තාවක්‌ කැඳවන ලෙස එහිදී අගමැති ලේකම් සමන් ඒකනායක මහතාට උපදෙස්‌ දෙන ලදී. මෙම වාර්තාව ජුනි මස 2 වැනිදාට පෙර ලබා ගැනීමට නියමිතය.

Ö ගංවතුර හේතු කොටගෙන ආර්ථිකයට සිදු වූ බලපෑම සම්බන්ධයෙන් තමන්ගේ ගනුදෙනු කරුවන් හරහා වාර්තා ලබා ගන්නා ලෙස, අගමැතිවරයාගේ උපදෙස්‌ පරිදි සියලු පුද්ගලික හා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට එහිදී දැනුම් දෙන ලදී.

Ö “සෞභාග්‍ය” සහ ” ස්‌වශක්‌ති” ණය යෝජනා ක්‍රම හරහා ආර්ථිකය නැවත නගාසිටුවීම සඳහා, අවශ්‍ය කරන සියලු මුදල් එම ණය යෝජනා ක්‍රම සඳහා නිකුත් කරන ලෙසටද අගමැතිවරයාගේ නියමය පරිදි මෙහිදී භාණ්‌ඩාගාර ලේකම්වරයා වෙත දැනුම් දෙන ලදී.

Ö ගංවතුරෙන් හානි වූවන් සඳහා ගෙවිය යුතු රක්‍ෂණ වන්දි මුදල් ගෙවීම කඩිනම් කිරීම සඳහා වහාම පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස්‌ පරිදි මෙහිදී සියලුම රක්‍ෂණ සමාගම් වෙතද, රාජ්‍ය රක්‍ෂණ මණ්‌ඩල වෙතද වැඩි දුරටත් නියම කරන ලදී.

මෙම වැඩපිළිවෙලේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා මෙම රැස්‌වීමට සහභාගී වූ මහ බැංකු නිලධාරීන්, රාජ්‍ය සහ පුද්ගලික බැංකු නිලධාරීන්, රක්‍ෂණ, ක්‌ෂුද්‍ර මූල්‍ය හා මූල්‍ය ආයතන ප්‍රධානීන් සියල්ලෝම ජුනි මස 2 වැනි දින නැවත රැස්‌වී, අදාල ඇමැති කමිටුව වෙත කරුණු වාර්තා කිරීමට නියමිත බවද රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා පවසයි.

ගංවතුර තත්ත්වය පොදුවේ මේ වසරේ (2017) කෘෂිකර්ම නිෂ්පාදිතයට මෙන්ම ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල ආර්ථික ක්‍රියාකාරීත්වයටද අහිතකර ලෙස බලපානු ඇත. මේ තත්ත්වය වී නිෂ්පාදනයට සහ එළවළු වගාවන්ට සිදුකරන හානිය හමුවේ ඒවායේ සැපයුම සීමා වේ. ඒ තුළ සහල් සහ එළවළු මිල ගණන් ඉහළ යාමට ඉඩ ඇත. ගිය වසරේ (2016) පැවැති අහිතකර කාලගුණිලක තත්ත්වය කෘෂිකාර්මික කටයුතුවලට අහිතකර ලෙස බලපෑවේය. ඒ අනුව 2015 වසරේදී සියයට 4.2 කින් වර්ධනය වූ කෘෂිකර්ම අංශයේ වර්ධනය ගිය වසරේ (2016) දී සියයට 4.2 කින් පසුබෑමට ලක්‌විය. මේ ගැන මහ බැංකු වාර්තාවේ මෙසේ සඳහන්ය.

“විශේෂයෙන් වසරේ (2016) දෙවන කාර්තුවේ දී පැවැති ගංවතුර සහිත කාලගුණික තත්ත්වය මෙන්ම වරින්වර පැවැති වියළි කාලගුණික තත්ත්වන් වැනි වසර පුරාම පැවැති අයහපත් කාලගුණික වාතාවරණය කෘෂිකාර්මික කටයුතු අඩාල වීමට ප්‍රධාන වශයෙන් හේතු විය”.

දැන් මේ වසරේ (2017) ද ගංවතුර තත්ත්වයන් ඇතුළු අහිතකර කාලගුණික තත්ත්වයේ බලපැම්වලට කෘෂිකර්ම අංශයට මුහුණදීමට සිදුවීම හමුවේ කෘෂිකර්ම අංශය යථා තත්ත්වයට පත් වීමට බාධා ඇති වනු ඇතැයි සිතිය හැකිය.

සංචාරකයන්ට හෝ සංචාරක හෝටල්වලට ගංවතුර හෝ නායයාම් හේතුවෙන් කිසිදු බලපෑමක්‌ සිදුව නැතැයි සංචාරක සංවර්ධන ඇමැති ජෝන් අමරතුංග මහතා පෙරේදා (30) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය. ඇතැම් විදේශ ජනමාධ්‍ය ආයතන විසින් ශ්‍රී ලංකාවේ ගංවතුර විපතට ලබාදී ඇති පුළුල් ප්‍රචාරය හමුවේ ඇතැම් විදෙස්‌ සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර ඇති විදෙස්‌ සංචාර අවලංගු කිරීමට ඉඩ ඇත. එහෙත් ජෝන් අමරතුංග ඇමැතිවරයා කීවේ එවැනි කිසිදු අවශ්‍යතාවක්‌ නැති බවයි. ගංවතුර තත්ත්වය දැන් සමනය වී ඇති බවත් මහාමාර්ග ඇතුළුÊයටිතල පහසුකම් වහාම යථා තත්ත්වය පත්කිරීමට රජය පියවර ගන්නා බවත් ඇමැතිවරයා කීවේය. සංචාරක ආකර්ෂණීය ස්‌ථානවලට ද ගංවතුරෙන් බලපෑමක්‌ සිදුව නැතැයි ඇමැතිවරයා කියයි. කෙසේ වෙතත් අපේ ගංවතුර විපත පුළුල් ලෙස විදෙස්‌ ජනමාධ්‍ය හරහා ලෝකයට ප්‍රචාරය වීම නිසා තරමක්‌ දුරට හෝ අපේ සංචාරක පැමිණීම්වල අඩුවීමක්‌ සිදුවනු ඇත. මේ වසර (2017) තුළ ගෙවී ගිය කාලයයේදී සංචාරක පැමිණීම්වල වර්ධනය මෙන්ම සංචාරක ඉපයීම්වල වර්ධනයද සැළකිය යුතු ලෙස අඩුවී ඇත. 2017 පෙබරවාරි මාසයේ විදෙස්‌ සංචාරක පැමිණීම් 197517 දක්‌වා අඩු වූ අතරම සංචාරක ඉපයීම්ද ඇමෙරිකානු ඩොලර් මිලියන 338.9 ක්‌ දක්‌වා අඩු විය. මේ නිසා යුද ජයග්‍රහණයෙන් පසු මහින්ද රාපක්‍ෂ රජය සමයෙ පැවැති සංචාරක ක්‍ෂේත්‍රයේ ආකර්ෂණීය ප්‍රගතිය දැන් ක්‍රමයෙන් මන්දගාමී වෙමින් තිබේ. මෙය අහිතකර තත්ත්වයකි. සංචාරක ක්‍ෂේත්‍රයෙන් උපරිම ප්‍රගතියක්‌ අත්කර ගැනීමට සමත් දේශපාලන නායකත්වයක්‌ මෙන්ම සංචාරක ආයතනවලට නායකත්වයක්‌ද අවශ්‍යව තිබේ. සංචාරක ක්‍ෂේත්‍රයේ යම් වර්ධනයක්‌ තිබුණත් (එයද අඩුවෙමින් තිබේ) එහි උපරිම විභවතාව අත්කර ගැනීමට සමත් වැඩපිළිවෙලක්‌ ඇති බවක්‌ පෙනෙන්නට නැත.

[rns_reactions]