ආර්ථිකය පතු‍ලේම හිටියත් අපි බොහෝම සතුටින් ජීවත් වුණා – චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

Spread the love

දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ සංගීත ක්‍ෂේත්‍රය තුළ එක වගේම සිය ජනප්‍රියත්වය රඳවාගෙන සිටින චන්ද්‍රසේන හෙට්ටිආරච්චි තමයි මෙවර සතුටයි දුකයි විශේෂාංගයට එකතු වෙන්නේ. ජීවිතය පුරා විඳි දාහකුත් එකක් අත්දැකීම් හමුවේ ඇහැට කඳුළක් ඉනූ අවස්ථා මෙන්ම මුවඟට සිනහවක් නැගුණු අවස්ථාවත් ඔහු මෙසේ විස්තර කළා.

සතුටයි දුකයි කියන්නේ මොකක්ද කියලා අපි ඔබට කියනවා කෙටියෙන් නිර්වචනය කරන්න කියලා. ඔබ කොහොමද එය කරන්නේ?
සතුට කියන්නේ හිත නිදහස් වීමට. දුක කියන්නේ දුක්බර සිතිවිලි ඇතිකරන්නට බලපාන හේතු මොනවද කියලා හරි හැටි තේරුම් නොගැනීම.

කලා ජීවිතය තුළ ඔබ විඳි ලොකුම දුක මොකක්ද කියලා අපි ඇහුවොත්?
1979දී ජාතික තරුණ සේවා සභාව යොවුන් ගී කණ්ඩායම නමින් සංගීත කණ්ඩායමක් ඇති කරන බව දන්වලා පුවත්පත් දැන්වීමක් පළකර තිබුණා. මමත් ඒ සම්මුඛ පරීක්ෂණයට ගියා. ඔන්න මගේ අවස්ථාවත් උදා වුණා. මම අදාළ පරීක්ෂණ කාමරයට යද්දී පරීක්ෂක මඬුල්ල ලොකු කතාබහක. ඒ අය මගේ දිහා බලන්නෙවත් නැතිව දන්වලා එවන්නම් කිව්වා. එදා මම ආපහු හැරිලා ආවේ දරාගන්න බැරි දුකකින්.

කලා ජීවිතයේදී අත්විඳපු ලොකුම සතුට මොකද?
මම 1979දී ජාතික තරුණ සේවා සභාවේ යෞවන සම්මාන උළෙ‍ලේ ගායන අංශයට සහභාගි වෙලා ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය දිනාගත්තා. එහි ප්‍රතිඵලයක් විදිහට තරුණ සේවා සභාවේ යොවුන් ගී කණ්ඩායමට මාව බඳවා ගත්තා. කලින් වතාවේ සම්මුඛ පරීක්ෂණයෙන් මාව ප්‍රතික්‍ෂේප කළේ ගීත කණ්ඩයක්වත් ගයන්න නොදී. පස්සේ දවසක ඒ කියන සංගීත කණ්ඩායමටම මාව තෝරා ගත්තෙත් සම්මුඛ පරීක්ෂණයක්වත් නොතියා. එදා මට ලොකු සතුටක් ඇතිවුණා.

පෞද්ගලික ජීවිතයේදී වඩාත්ම සතුටු වුණේ කවදාද?
1994 අගෝස්තු 20 වැනිදා කුළුඳු‍ලේට පිය පදවි හිමිකරමින් පුතා ඉපදුණේ එදා.

පෞද්ගලික ජීවිතයේදී වඩාත්ම දුක්වුණේ?
1992 මාර්තු 7 වැනිදා මගේ පියාගේ අභාවය සිදුවූ දිනය තමයි ඒ.

ආර්ථික ගැටලු හින්දා දුක්විඳි කාලයක් ඔබේ ජීවිතය තුළ තිබුණා නේද?
අපේ පවු‍ලේ අයියයි, අක්කයි, මමයි, නංගිල තුන්දෙනයි, පාන් රත්තලක් ගෙනැත් පෙති 8කට කපලා අපි හැමෝම කාපු කාලයක් තිබුණා. පුංචි පාන් පෙත්තක් කාලා බඩ පුරවා ගත්තේ වතුර වීදුරුවක් බිලා. අපි ආර්ථිකයේ පතු‍ලේම හිටපු පවුලක්, හැබැයි ඒක මට දුකක් ‍නෙවෙයි. මොකද අපි බොහෝම සතුටින් ජීවත් වුණ නිසා.

අද ගෙවන ජීවිතය ගැන හිතන විට ලොකු සතුටක් දැනෙනවා ඇති?
අද මට හොඳ බිරිඳක් ඉන්නවා. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මට සතුටුවන්න පුළුවන් වීදියේ ජීවන රටාවක් තියෙනවා. අද මම ඉන්නේ සතුටින්.

වැඩියෙන්ම සතුටක් විහිඳිලා තියෙන්නේ එදා ජීවත් වූ ගම් පියස තුළද? අද ජීවත් වන කොළඹ පරිසරය තුළද?
එදා මම ජීවත් වුණේ යටියන්තොට ගරුගොඩ ගමේ. අද කොළඹ ජීවත් වනවා. මම නම් හිතන විදිහට සුන්දරත්වය, සතුට රැඳිලා තියෙන්නේ තමන් ජීවිතය දකින සහ වින්දනය කරන ආකාරය අනුවයි. ඉන්න පරිසරය තමන්ට ගැළපෙන විදිහට ගැටගසා ගත්තොත් ගම වුණත් නගරය වුණත් මටනම් වරදක් නැහැ.

අනාගතය ගැන හිතන විට දැනෙන්නේ සතුටක්ද දුකක්ද?
ලොකු සතුටක්. මොකද මම මෙච්චර කාලයක් ජීවිතේ ගොඩනගා ගත්තේ සැලසුම් සහගතව. මගේ දරුවන්ගේ අනාගය ගැනත් සුබවාදී හැඟීමක් මට තියෙනවා. ඒ හින්දා අනාගතය ගැන කිසි අවිනිශ්චිත බවක් මට නැහැ.

[rns_reactions]