ඇත්ත නොදැන නොමග යන අසැබි ලොව තුල අතරමංව විකෘති වූ ලිංගිකත්වය සමග ජිවත් වන අපි

ඇත්ත නොදැන නොමග යන අසැබි ලොව තුල අතරමංව විකෘති වූ ලිංගිකත්වය සමග ජිවත් වන අපි
Spread the love

ලිංගිකත්වය නොමග යැම අද මේ රටේ කොතරම් දුරදිග ගොස්‌ තිබේද යත් ඒ ගැන කතා නොකර සිටීම රජයට පවා කළ නොහැකිවී තිබේ.

එම බරපතල ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙම ලිපිය සිංහලෙන් නොව ඉංගී්‍රසියෙන් ලිවීමට මම මුලින් පෙළඹුනෙමි.

එයට හේතුව සිංහල පාඨකයා පමණක්‌ නොව සිංහල පුවත්පත් පවා ලිංගිකත්වය පිළිබඳ ප්‍රශ්න ගැඹුරින් සාකච්ඡා කිරීමට නුහුරු යෑයි මා සිතීමය.

එහෙත් මෙවැනි ප්‍රශ්න මේ රටේ බහුතර ජනයාගේ කතා කිරීමේ, ලිවීමේ මෙන්ම විශේෂයෙන්ම සිතීමේ භාෂාව වන සිංහලෙන්ම ලිවීමෙන් එම නුහුරුබව බිඳීමට උත්සාහ දැරිය යුතු යෑයි මට දෙවනුව සිතිණ. මෙම ලිපිය එහි ප්‍රතිඵලයකි.

ලිංගිකත්වය යහ මගට යොමු කිරීම වත්මන් දේශපාලනය මගින් කළ හැක්‌කක්‌ නොවේ.

ලිංගිකත්වය විකෘති වීමට තුඩුදුන් එක්‌ ප්‍රබල හේතුවක්‌ ඇත්තේද විකෘතිවූ දේශපාලනය වන බැවිනි.

වර්තමාන ගෝලීය ධනේශ්වර ආර්ථික ක්‍රමය එහි ඉතිහාසයේ දරුණුතම අවපාතය කරා ඇද වැටෙමින් ඇත.

එම ක්‍රමයට බද්ධවුණු දේශපාලනයද එකී ඉරණම කරා නිතැතින් ඇදෙමින් පවතී. මෙම දේශපාලන හා ආර්ථික බද්ධවීම යටතේ දිවෙන සමාජ ක්‍රමයද ඒ අනුව ගරාවැටෙමින් ඇත.

එවැනි බරපතල කඩාවැටීමකින් ලොව බේරාගැනීම පවතින දේශපාලන ක්‍රමයට සිදුකළ නොහැක්‌කකි. ඒ වෙනුවට අලුත් දේශපාලනයක්‌ බිහිවිය යුතුය.

සාමාන්‍ය මනුෂ්‍යයා එවැනි යමෙක හෝ සාධාරණවූ භෞතික ලෝකයක බිහිවීමක්‌ නොදකින කල අධ්‍යාත්මිකව ඔහු හෝ ඈ අන්දමන්ද වෙයි.

මනුෂ්‍යයා විසින් මනුෂ්‍යයා සූරාකනු ලැබීම මත පවතින මෙවන් සමාජයන් අධ්‍යාත්මික අතින් විකෘතිවීම පුදුමයක්‌ නොවේ. එසේ නොවුවහොත්ය පුදුමය.

ලිංගිකත්වය විකෘතිවීම සමාජය පිරිහීමේ මූලික ලක්‍ෂණයකි. එම පිරිහීම විදහා දැක්‌වෙන කරුණු රැසක්‌ අද මේ සමාජය තුළ ඉස්‌මතුවී ඇත.

ස්‌ත්‍රී දූෂණ, ඊට සෘජුව සම්බන්ධ වන හා නොවන මිනීමැරුම් හෝ වෙනත් අපරාධ හා සියලු ආකාරයේ දූෂණ එකී කරුණු වේ.

එවැනි බොහෝ දරුණු අපරාධ හුදෙක්‌ දේපළක්‌ පුහු සමාජ තත්ත්වයන් මත පදනම්වීම හේතුකොට ගෙන ආදරය නොහඳුනන විවාහයන් හා ලිංගික සබඳතා හෝ හැසිරීම් රටා යනාදී සියලුම ක්‍රියාදාමයන් නිසා විකෘතිවූ ලිංගිකත්වයේ ප්‍රතිඵල වශයෙන් සැලකිය හැකිය.

බොරුව, ව්‍යාජත්වය, අධිමානය හා එම කාසියේම අනික්‌ පැත්ත වන හීනමානයද එම ගනයටම ඇතුළත් කළ යුතුවේ.

ඇත්ත වශයෙන් අද සමාජයේ ප්‍රචලිතව පවතින සෑම හැසිරීම් හා චින්තන රටාවක්‌ම පාහේ විකෘතිවූ ලිංගිකත්වයේ ප්‍රතිඵලයන් බවට පත්ව ඇත.

කොටින්ම කියතොත් අද බොහෝ සාහිත්‍ය හා වෙනත් කලා කෘතීන් ඊට දැක්‌විය හැකි නිදසුන් බවට පත්වී තිබේ. මෙයින් අදහස්‌ කෙරෙන්නේ ලිංගිකත්වය පිළිබිඹු කිරීම විකෘතිතාවක්‌ යන්න නොවේ. විකෘතිවූ ලිංගිකත්ව නිරූපණයක්‌ කලාත්මකව ඉදිරිපත් කිරීමෙන් බිහිවුණු විශිෂ්ට කෘති ලොව පහල වී ඇත.

විලියම් ශේක්‌ස්‌පියර්ගේ “ඔතැලෝ” නාට්‍යය සහ ඩී. එච්. ලෝරන්ස්‌ගේ “චැටලි ආර්යාවගේ පෙම්වතා” නවකථාව වැනි කොතෙකුත් උදාහරණ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැක.

එමෙන්ම. හුදෙක්‌ නග්නත්වය පිළිබිඹු වන නිසා කිසියම් චිත්‍රයක්‌ හෝ චිත්‍රපටයක්‌ විකෘති වූවක්‌ද නොවෙන්නේය.

එසේ වන්නේ නම් සීගිරි බිතුසිතුවම් හා ඉසුරුමුනි පෙම් යුවළ දැක්‌වෙන මූර්තියද භාරතයේ කැජරාවෝ බිතුසිතුවම් හා කෝනාරාහි මූර්තිද විකෘති ගනයට වැටිය යුතුය. එහෙත් එය එසේ නොවේ. ඇත්තෙන්ම, භාරතයේ ඉහත කී කලාකෘතීන් ගෘංගාර ආධ්‍යාත්මකත්වයේ නිදර්ශන වශයෙන් පවා සැලකේ.

විකෘති ඒවා හැටියට සැලකෙන්නේ අසභ්‍ය කෘතීන්ය. ලිංගිකත්වය වනාහි ස්‌වභාවික දෙයකි.

විකෘති හැසිරීමක්‌ හෝ සිතුවිල්ලක්‌ වුවද කලාත්මකව ඉදිරිපත් කළ හැකිය. එසේ කලාත්මකව ඉදිරිපත් නොවුවහොත් එම කෘතිය අසභ්‍ය ගනයට වැටේ. අසභ්‍ය වන්නේ ලිංගිකත්වය නොව ලිංගිකත්වය විකෘතිවීමයි.

එවැනි විකෘතිවලට සමාජය ඇදී යන්නේ සමාජ ක්‍රමය විසින් එම අදාළ සමාජය විකෘති වූවක්‌ බවට පත්කරනු ලැබ ඇති බැවිනි.

ලිංගිකත්වය කෙලින්ම පිළිබිඹු නොකෙරෙන චිත්‍රයක්‌, චිත්‍රපටයක්‌, නවකථාවක්‌, කෙටිකථාවක්‌ හෝ කවියක්‌ වුවද අසභ්‍ය ගනයට වැටෙත හැකිය. කලාත්මකව ඉදිරිපත් නොකෙරෙන රළු යමක්‌ අසභ්‍ය ගනයට වැටෙන බව මගේ අදහසයි. එවැන්නකින් සිදුවන්නේ සමාජ දූෂණයකි.

නූතන තාක්‍ෂණයේ දියුණුව විදහාපාන සොයා ගැනීමක්‌ වන ජංගම දුරකථන මගින් එවැනි අසභ්‍ය දේ ඉදිරිපත් කෙරේ.

එය එවැනි සොයා ගැනීමක ගැබ්වුණු කිසියම් දුබලතාවක විපාකයක්‌ නොවේ. ඒවා එම අයුතු ප්‍රයෝජනය සඳහා යොදවා ගන්නන්ගේ සාපරාධී ක්‍රියාවන්ය. සමාජය දූෂණය වී ලිංගිකත්වය විකෘති වූවිට එවැනි අපරාධවලට ලාභදායි වෙළෙඳපොළක්‌ද ඇතිවේ.

ලිංගික හැසිරීම් පමණක්‌ නොව ඕනෑම හැසිරීමක්‌, කතාබහක්‌, බැල්මක්‌, සුසුමක්‌ පවා අසභ්‍ය යමක්‌ විය හැකිය.

ඒ අතින් අද බොහෝ පතපොත, සිනමා කෘති, ටෙලි නාටක, සංගීතය හා ගීත පමණක්‌ නොව වෙළෙඳ දැන්වීම්ද අසභ්‍ය ගනයට වැටීමට ඉඩ ඇත. එසේ වීමට මූලික හේතුව ඒවායේ පදනම විකෘතිතාව, බොරුව හා ව්‍යාජත්වය වීමයි.

කිසියම් රජයකට එම ක්‍රියාදාමයන් තහනම් කළ නොහැක. මක්‌නිසාද යත් ඒවා උත්පාදනය කරනු ලබන්නේ පිරිහුණු සමාජයක්‌ විසින් වන නිසාය.

ඒවා සමාජ පිරිහීම නතර කිරීමෙන් මෙහා වැලැක්‌විය නොහැක. තහනම් කරන්ට කරන්ට ඒවා හොරෙන් බැලීම හා කියවීම වැඩිවනු ඇත.

එසේ වෙත්ම ඒවා හොරෙන් ඉදිරිපත් කිරීමද වැඩිවනු ඇත. එහිදී කසිප්පු හා මත්කුඩු බෙදා හැරීමේදී මෙන් බලධාරීන්ට පගාව දීම වැනි වෙනත් දූෂණයන්ද වැඩිවෙයි.

“වැඩිහිටියන්ට පමණයි” යන ලේබලය යටතේවූ චිත්‍රපට ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය කිරීම වහාම තහනම් කිරීමට රජය තීරණය ගෙන ඇතැයි සංස්‌කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිවරයා පැවසූ වගක්‌ පසුගිය දිනක පුවත්පතක පළවිය.

ඊට අමතරව අශ්ලීල හා අසභ්‍ය ප්‍රකාශන හා චිත්‍රපට සම්බන්ධයෙනුත් දැනට පවතින නීති දැඩිකර ඒවා බරපතල දඬුවමකට යටත් කළ හැකි පරිදි නීති සම්පාදනය කෙරෙන බවද පසුගියදා පුවත්පත් මගින් දැනගන්නට ලැබිණි.

මේ අතර, රූපවාහිනි මාධ්‍යයේ දැන්වීම්වල අන්තර්ගතය හා ඒවා පාසල් ළමුන්ට බලපාන අන්දම ගැන ජනාධිපතිවරයා සිය නොකැමැත්ත පළකළ බවත්, තමා ඒ ගැන සංස්‌කෘතික කටයුතු පිළිබඳ ඇමැතිවරයාට දන්වා ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇතැයිද පුවත්පත්වල වාර්තා විය.

පසුගිය දිනවල එලෙස ප්‍රචාරය වුණු කරුණු අනුව අධිකරණ නියෝග යටතේ වැඩිහිටි වෙබ් අඩවි 12 ක්‌ අවහිර කරනු ලැබ ඇති අතර තවත් ඒවා එසේ අවහිර කරනු ලැබීමට හෝ අන්තර්ජාලයෙන් ඉවත්කර දමනු ලැබීමට ඉඩ තිබෙන බවක්‌ද දැනගන්නට ඇත.

අසභ්‍ය දෑ ඇතුළත් වෙබ් අඩවි සංඛ්‍යාව මිලියන 4.2 ක්‌ වන බවද සොයා ගෙන තිබේ. දෛනිකව මෙම වෙබ් අඩවි සඳහා ලැබෙන ඉල්ලීම් සංඛ්‍යාව මිලියන 68 කි.

අන්තර්ජාල කාමුක නිපැයුම් අලෙවියෙන් වසරකට ලැබෙන ආදායම ඩොලර් බිලියන 4.9 ක, එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලංකාවට දීමට ගිවිසගෙන ඇති සම්පූර්ණ ණය මුදල මෙන් දෙගුණයකට ආසන්න මුදල් ප්‍රමාණයකි.

මේ අනුව, තහනමකින් මෙවැනි අසභ්‍ය බලවේගයන් මැඬලිය නොහැක.

මේසා නිර්ල-ජි තත්ත්වයක්‌ උත්පාදනය වීමට හේතුව සමාජ පිරිහීම නොහොත් සමාජ ජීවිතය අසභ්‍යත්වයට නැඹුරුවීමයි.

එසේ වීමට තුඩුදී ඇත්තේ සමාජ ක්‍රමය හා එය රකින දේශපාලනයයි. කිසියම් රජයක්‌ මෙම අශ්ලීලත්වය තහනමකින් මර්දනය කළ හැකැයි සිතීම මුළාවීමකට වඩා සමාජය තවදුරටත් මුළාකිරීමකි.

ලිංගිකත්වය අසභ්‍ය යමක්‌ බවට පෙරළීම ලිංගික පීඩනය හේතුකොට ගෙන ඇතිවන උමතුවකි. එය දැන් සමාජ උමතුවක්‌ බවට පත්ව ඇත.

එවැනි උමතුවක්‌ තහනමකින් සුවකළ නොහැක. ලිංගික පීඩනය සමාජ ක්‍රමයේ තිබෙන නොසංඩාලකමේ ප්‍රතිඵලයකි.

සමාජ ක්‍රමය වෙනස්‌ නොකර තහනම් හෝ තහංචි පැනවීමෙන් සිදුකෙරෙන්නේ කැට මුගුරු මගින් පැසිස්‌ට්‌වාදය කරා ජනතාව දක්‌කනු ලැබීමයි. පැසිස්‌ට්‌වාදය යනු සංවිධානාත්මක ගූඨවාදයකි. එයින් මනුෂ්‍ය වර්ගයාගේ විනාශය කඩිනම් කෙරේ.

ප්‍රජාතන්ත්‍රවාදය එසේ නොවේ. සමාජයේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු සපයාගත හැක්‌කේ ප්‍රජාතන්ත්‍රවාදය තුළිනි. ප්‍රජාතන්ත්‍රවාදයට හුරුවන තැනැත්තා ලිංගිකවද ස්‌වභාවිකත්වයට පත්වෙයි.

සමාජය තුළ එවැනි තත්ත්වයකට ඇති ඉඩකඩ ඇහිරුණු විට මනුෂ්‍යයා ඇත්තෙන්ම ලොකුකම හිතට ගත් පුංචි මිනිසෙකු බවට පත්වෙයි.

ඔහු එවිට පුංචි පුංචි දේවල් පසුපස ගොස්‌ තම අතෘප්තියෙන් මිදීමට උත්සාහ දරයි. අසභ්‍ය දෑ ඔහුට සාමාන්‍ය දෑ බවට පත්වෙයි.

ඒ පුංචි මිනිසාට හෝ ගැහැනියට තමා ශේ්‍රෂ්ඨ මනුෂ්‍යයකු බව පෙනී යැමෙන් පමණකි අසභ්‍යත්වයෙන් ඔහු හෝ ඇය ඉවත්වන්නේ. ඒ සඳහා නියම සිතුම් පැතුම්වලටත් සාහිත්‍යයට හා සෙසු කලාවන්ටත් සෑම අතින්ම, සෑමවිටම නිදහසක්‌ තිබිය යුතුය.

එම නිදහස අපි දිනාගත යුතුව ඇත්තෙමු. අසභ්‍යවූ සමාජ රටාව සභ්‍යවූවක්‌ බවට පත්වන්නේ එවිටය.

එකල්හි පුංචි මිනිසා තම පුංචිකම වටහා ගනී. එය වටහා ගැනීමෙන් ඔහු බියට පත් නොවූ කල්හි ඔහු ශ්‍රේෂ්ඨ මිනිසෙකු වෙයි.

හුදෙක්‌ තහනම් පැනවීම් මගින් අසභ්‍ය ලෝකය තුළට හොරෙන් එබී බැලීම නවතාලන්නට උත්සාහ කරන්නන් තමන් තුළටම එබී බැලිය යුතුය.

එහෙත් තම කුහකත්වය නිසා ඔවුන්ට එසේ කිරීමට වුවමනාවක්‌ හෝ හැකියාවක්‌ තිබිය නොහැක. මක්‌නිසාද යත් එසේ එබී බලතොත් ඔවුන්ට තමන් දරන ව්‍යාජවූ ඉහළ තැන්වල වැජඹීම නොහැකි බැවිනි.

එබැවින්, ඔබ හා මම වැනි සාමාන්‍ය මනුෂ්‍යයන් අප තුළටම එබී බලා අපේ පුංචි මිනිස්‌බවින් මිදිය යුතු වෙමු.

එවිට, පුංචි මිනිසුන්ගේ අසභ්‍ය ලෝකයෙන් හා ඉන් ප්‍රයෝජන ලබාගනිමින් එහි ප්‍රතිඵල තහනම් කරන බවට නන්දොඩවන පුංචි මිනිසුන්ගෙන්ද අපට නිදහස්‌ විය හැකිය.