ඇමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානියාගෙන් චීනය ගැන බරපතළ හෙළිදරව්වක්

ඇමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානියාගෙන් චීනය ගැන බරපතළ හෙළිදරව්වක්
Spread the love

දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව “ප්‍රජාතන්ත්‍රවාදයට සහ නිදහසට ඇති වී තිබෙන විශාලතම තර්ජනය” වන්නේ චීනය බව ඇමරිකා එක්සත් ජනපදයේ බුද්ධි අංශ ප්‍රධානියා පවසයි.

ජෝන් රාට්ක්ලිෆ් පවසන්නේ එක්සත් ජනපදයේ බුද්ධිමය දේපල සොරා ගෙන, වෙළඳපොළේ පවතින ඇමරිකානු සමාගම් වෙනුවට චීන සමාගම් ප්‍රතිස්ථාපනය කරමින් චීනය තම බලය වර්ධනය කර ගනිමින් සිටින බවය.

මේ බව සඳහන් කර ඇත්තේ වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall St Journal) නමැති සඟරාවට ඔහු විසින් සපයනු ලැබූ ලිපියක ය.

චීනය බුද්ධිමය දේපළ සොරා ගන්නා බවට චෝදනා කරමින් ට්‍රම්ප් පරිපාලනය චීනයට එරෙහිව දැඩි පියවර ගනිමින් සිටියේය. ඒ අනුව, චීන භාණ්ඩවලට වැඩි තීරුබදු පැනවීමට ද පියවර ගනු ලැබිණි.

us and china flags in Yiwu, China

එක්සත් ජනපද බුද්ධි අංශ ප්‍රධානියාගේ ප්‍රකාශය පිළිබඳව චීනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

කෙසේ නමුත්, චීන භාණ්ඩවලට නව තීරුබදු පැනවීම සහ චීන දුරකථන සමාගමක් වන හුවාවෙයි, ඇමරිකානු වෙළඳපොළෙන් ඉවත් කිරීම වැනි පියවර ඉදිරියේ චීනය බලවත් ලෙස ප්‍රතිචාර දැක්වීය.

ඇමරිකාවට එරෙහිව යාම සඳහා චීනය සැරසෙමින් සිටින අතර “ආර්ථිකයෙන්, හමුදාවෙන් සහ තාක්ෂණයෙන්” ලෝකය යටත් කර ගැනීමට බීජිං පරිපාලනය කටයුතු කරමින් සිටින බවයි ජෝන් රාට්ක්ලිෆ් පවසන්නේ.

රාට්ක්ලිෆ් ගේ ඇතැම් ප්‍රකාශ ,එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ FBI රහස් ඔත්තු සේවයේ ප්‍රධානී ක්‍රිස්ටෝපර් ව්රේ විසින් මීට පෙර සිදු කරනු ලැබූ ප්‍රකාශයන්ට සමාන කමක් දක්වයි.

ඔවුන් ද එවැනි ප්‍රකාශ සිදු කළේ ඇමරිකාවේ මිත්‍ර රටක් වූ ඔස්ට්‍රේලියාවට චීනය විසින් පීඩනයක් එල්ල කරනු ලැබූ අවස්ථාවේ දීය.

චීනය ඒ වන විට, ඕස්ට්‍රේලියාවේ හැසිරීම වෙනස් කරවීම සඳහා ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් ඕස්ට්‍රේලියානු වයින් සඳහා හිටිහැටියේ ඉහළ තීරුබදු පනවා තිබුණි. ඇෆ්ඝනිස්ථානයේ දී ඕස්ට්‍රේලියානු හමුදාව විසින් කඩ කරනු ලැබූ බව පැවසෙන මානව හිමිකම් පිලිබඳ වාර්තා ගැන කතා කරමින් ඔස්ට්‍රේලියාව කුපිත කරවා තිබුණි.

Reuters
චීනය සහ එක්සත් ජනපදය අතර තිබූ මතභේද ට්‍රම්ප් පරිපාලනය යටතේ උණුසුම් විය

එක්සත් ජනපදය විසින් “චීනයට එරෙහිව නොයෙකුත් පීඩාකාරී දේශපාලනික සටන්” දියත් කර ඇති බවට චීනයේ විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකාව පසුගිය බදාදා චෝදනා කළාය.

ඇය තවදුරටත් කියා සිටියේ මෙය “චීනය මැඩපැවැත්වීම සඳහා අගතිගාමී මතවාද ඔස්සේ යොදවනු ලබන උපාය මාර්ගයක්” බවය.

සිය දෛනික මාධ්‍ය හමුව අමතමින් “චීන කියමනක් තියෙනවා… ‘හිතේ තියෙන දේ තමයි ඇසින් දකින්නේ’ කියල” යැයි පැවසු චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා හුවා චුන්යින්ග් තවදුරටත් පැවසුවේ “හැම කෙනෙක්ම ඔත්තුකරුවන් ලෙස සැලකීම එක්සත් ජනපදය නතර කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා,” යනුවෙනි.

රාට්ක්ලිෆ් කියන්නේ මොනවාද?

එක්සත් ජනපද ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂවරයා පවසන්නේ එක්සත් ජනපදයේ රහස් ඔත්තු සේවා ක්‍රියාකාරකම් දෙස දැන් ඇස ගසාගෙන සිටින්නේ රුසියාව නොව චීනය බවයි.

චීනය ආර්ථිකමය ආකෘතියක් සහිත ඔත්තු බැලීමක යෙදී ඇති බව රාට්ක්ලිෆ් පවසයි. ඔහු එය හඳුන්වන්නේ “සොරා ගැනීම, ප්‍රතිනිර්මාණය සහ කලින් තිබූ දේ වෙනුවට එය ස්ථාපනය කිරීම” යනුවෙනි.

ඊට උදාහරණයක් ලෙස ඔහු දක්වන්නේ, එක්සත් ජනපද සමාගමකින් සොරා ගත් තාක්ෂනය උපයෝගී කරගනිමින් සුළං ටර්බයින නිපදවා ලොව පුරා අලෙවි කිරීමට කටයුතු කළ චීන සමාගමක් නීතිය ඉදිරියේ වරදකරු වූ අවස්ථාවයි. එම චීන සමාගම ටර්බයින නිපදවීම හේතුවෙන් එක්සත් ජනපදයේ ටර්බයින සමාගමට කොටස්කරුවන් අහිමි වූ අතර එම සමාගමේ සේවකයන්ට රැකියා අහිමි විය.

Getty Images
කොරෝනා වෛරස් වසංගතය හමුවේ ද මෙම සුපිරි බලවතුන් දෙදෙනා අතර සබඳතා නීරස විය

චීනය වසරකට ඩොලර් බිලියන 500ක් පමණ වටිනාකමකින් යුත් බුද්ධිමය දේපළ ප්‍රමාණයක් එක්සත් ජනපදයෙන් සොරා ගන්නා බව රාට්ක්ලිෆ් පවසයි. පර්යේෂණ වාර්තා සොරකම් කිරීමේ වරදට FBI ඔත්තු සේවය විසින් චීන ජාතිකයන් අත්අඩංගුවට ගනු ලැබීම් නිරන්තරයෙන් සිදු වෙයි. ඇමරිකාවේ හාවඩ් සරසවියේ රසායන විද්‍යා අංශයේ ප්‍රධානියාට ද මසකට ඩොලර් 50,000 බැගින් චීනයෙන් ගෙවීම් කර තිබු බව හෙළි වූයේ මෙම වසර මුල දී ඔහු අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුවය.

හුවාවෙයි වැනි සමාගම් හරහා අනාරක්ෂිත තාක්ෂනයන් වෙනත් රටවලට හඳුන්වා දීම පිළිබඳව ද රාට්ක්ලිෆ් චීන රහස් ඔත්තු සේවයට චෝදනා කරයි. එවැනි අනතුරුදායක තාක්ෂණික මෙවලම් භාවිතා කරන මිත්‍ර රටවල් සමඟ වුවද එක්සත් ජනපදයේ බුද්ධි තොරතුරු හුවමාරු කර නොගන්නා බව ඔහු පැවසීය.

“ජීව විද්‍යාත්මකව වැඩි දියුණු කළ හැකියාවන්” සහිත සොල්දාදුවන් බිහි කිරීමේ අරමුණින් චීන හමුදා භටයන් යොදා ගනිමින් “මිනිස් දේහය මත සිදු කෙරෙන අත්හදා බැලීම්” ද චීනය විසින් සිදු කොට ඇති බව එක්සත් ජනපද ඔත්තු සේවා පෙන්වා දුන් බව රාට්ක්ලිෆ් පවසයි.

එමෙන්ම, චීනය කෙරෙහි මෘදු පිළිවෙතක් අනුගමනය කරන ලෙසට එක්සත් ජනපදයේ කොන්ග්‍රස් මණ්ඩල සාමාජිකයන් පොළඹවා ගැනීම සඳහා චීනය මහා පරිමානයේ වැඩ පිළිවෙලක් දියත් කර තිබුණු බවද ඔහු පවසයි. මේ සඳහා දේශපාලනඥයන්ට බලපෑම් කර ඇත්තේ එක්සත් ජනපදයේ දැවැන්ත සමාගම්වල පවතින වෘත්තීය සමිති යොදා ගනිමින් බව එහි සඳහන් වෙයි.

Getty Images
ට්‍රම්ප් ජනාධිපතිවරයා කොරෝනා වෛරසය හඳුන්වන්නට පටන් ගත්තේ “චීන වෛරසය” යන නමිනි

එක්සත් ජනපද කොන්ග්‍රස් සභිකයන් පොළඹවා ගැනීමට චීනය දරා ඇති උත්සාහයන්ගේ වාර ගණන රුසියාව වඩා හය ගුණයකින් සහ ඉරානයට වඩා දොළොස් ගුණයකින් වැඩි බව ද රාට්ක්ල්ෆ් සඳහන් කරයි.

එක්සත් ජනපදය මෙන්ම වෙනත් රටවලට ද චීනය බලපෑම් සිදු කරන බව ඔහු පෙන්වා දෙයි. “තමන් ඉහළින් ම නොසිටින අයුරින් ගෝලීය අනුපිළිවෙළ තනා තිබීම ඓතිහාසික වරදක් බවයි චීනය විශ්වාස කරන්නේ. ඔවුන්ගේ අරමුණ එය වෙනස් කරලා ලොව පුරා විසිරී ඇති නිදහස ආපස්සට හරවන්න.”

ට්‍රම්ප්ගේ ධවල මන්දිරය චීනය හැසිරවූයේ කෙසේද?

චීනය සහ එක්සත් ජනපදය අතර තිබූ මතභේද ට්‍රම්ප් පරිපාලනය යටතේ උණුසුම් විය.

දෙරටම එකිනෙකාට එරෙහිව නව තීරුබදු පැනවීය. මෙසේ තීරුබදු පැනවූ භාණ්ඩවල වටිනාකම ඩොලර් බිලියන සිය ගණනකි. එමෙන්ම දෙරටම එකිනෙකාගෙන් යම් යම් භාණ්ඩ ආනයනය කිරීම සීමා කරමින් නීති පැනවීය.

පසුගිය බ්‍රහස්පතින්දා ධවල මන්දිරය විසින් තවත් චීන සමාගම් හතරක් කළු ලැයිස්තුවට (අසාදු ලේඛනයට) ඇතුළත් කරනු ලැබුවේ එම සමාගම් චීන හමුදාවට සම්බන්ධකම් පවතින බවට චෝදනා කරමිනි.

එක්සත් ජනපදය තුළ ඔත්තු බැලූ බවට චෝදනා එල්ල කරමින් හූස්ටන් නුවර තිබූ චීන කොන්සල් කාර්යාලය වසා දමන ලෙස එක්සත් ජනපදය ඉයෝග කළේ මෙම වසර මුලදී ය. චීනය ඊට ප්‍රතිචාර දැක්වූයේ චෙන්ග්ඩු නගරයේ තිබූ එක්සත් ජනපද කොන්සල් කාර්යාලය වසා දැමීමට නියෝග කරමිනි. එක්සත් ජනපදයේ සිටි චීන මාධ්‍යවේදීන් රටින් පිටමං කෙරුණි. චීනයේ සිටි ඇමරිකානු මාධ්‍යවේදීන්ට ද ඒ ඉරණම ම අත් විය.

Getty Images
බීජිං පරිපාලනය චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි

කොරෝනා වෛරස් වසංගතය හමුවේ ද මෙම සුපිරි බලවතුන් දෙදෙනා අතර සබඳතා නීරස විය. ට්‍රම්ප් ජනාධිපතිවරයා කොරෝනා වෛරසය හඳුන්වන්නට පටන් ගත්තේ “චීන වෛරසය” යන නමිනි. එමෙන්ම, හොංකොං කලාපය අරඹයා චීනය ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ද මෙම තත්වය තවත් නරක අතට හැරුණි.

චීනය විසින් හොංකොං පරිපාලන කලාපයට නව ආරක්ෂක පනතක් සම්මත කරනු ලැබීමෙන් පසුව එක්සත් ජනපදය හොංකොං වෙත එකඟ වී තිබුණු අනුග්‍රහපූර්වක සත්කාර නිමා කරමින්, ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් නියෝගයකට අත්සන් තබන ලදී.

මතභේදයට තුඩු දී තිබෙන මෙම චීන ආරක්ෂක පනත එක්සත් ජනපදය විසින් හඳුන්වනු ලැබුවේ හොංකොං පරිපාලනයේ ස්වාධීනත්වයේ අවසානය ලෙසිනි.

චීනයේ ක්සින්ජියෑන් පළාතේ ජීවත් වන උයිගර් මුස්ලිම් සුළුතර ප්‍රජාවට එරෙහිව “භයංකාර සහ සැලසුම් සහගතව” මානව හිමිකම් කඩ කරමින් චීන පරිපාලනය කටයුතු කරන බවට ද එක්සත් ජනපදය චෝදනා එල්ල කළේය. එම නිසා චීන දේශපාලනඥයන් කීප දෙනෙකුට එරෙහිව තහංචි පැනවීමට එක්සත් ජනපදය පියවර ගත්තේය.

උයිගර් මුස්ලිම්වරුන් විශාල ප්‍රමාණයක් රැඳවුම් භාරයේ තබන බවටත් අදහන ආගම අරභයා ඔවුනට වධ හිංසා පමුණුවන බවටත් උයිගර් මුස්ලිම්වරුන් බලහත්කාරයෙන් වන්ධ්‍යකරණයට ලක් කරනු ලබන බවටත් චීනයට චෝදනා එල්ල වී තිබේ.

නමුත් බීජිං පරිපාලනය මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි.

නව ජනපති බයිඩන් වෙනස් මාවතක් ගනී ද?

චීන සන්නිවේදන තාක්ෂනය වර්ජනය කිරීම සඳහා ගෝලීය සහයෝගය දිනා ගැනීමට ට්‍රම්ප් සමත් විය
චීන සන්නිවේදන තාක්ෂනය වර්ජනය කිරීම සඳහා ගෝලීය සහයෝගය දිනා ගැනීමට ට්‍රම්ප් සමත් විය

එක්සත් ජනපදයට අලුතින් තේරී පත්වී සිටින ජනාධිපතිවරයා වැඩ භාර ගන්නේ ජනවාරි මාසයේදී ය. චීනයට එරෙහිව ට්‍රම්ප් දියත් කර තිබූ ප්‍රතිපත්ති නව ජනාධිපතිවරයා විසින් ද දිගටම ක්‍රියාත්මක කරනු ඇති බවට අපේක්‍ෂා කෙරුණත් ට්‍රම්ප්ගේ වැඩි කැමැත්තට සිදු වූ ඒකපාර්ශවික වෙළඳ ගනුදෙනුවලට විරෝධය පෑ මිත්‍ර රාජ්‍යයන් සමඟ ද එක්වී ජෝ බයිඩන් කටයුතු කරනු ඇත.

ධවල මන්දිරයේ සිටින බීබීසී වාර්තාකාරිනී ටාරා මකෙල්වී පවසන්නේ චීන වෙළඳ ගනුදෙනු සහ චීනය සමඟ පවතින අනෙකුත් ප්‍රශ්න සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක සිට කටයුතු කළ යුතු බවට, එක්සත් ජනපදයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ සියල්ල එක්වී අත්සන් කෙරුණු එකඟතා ගිවිසුමක් පවතින බවය.

චීන සන්නිවේදන තාක්ෂනය වර්ජනය කිරීම සඳහා ගෝලීය සහයෝගය දිනා ගැනීමට ට්‍රම්ප් සමත් විය.

කෙසේ නමුත්, නැගී එන චීනය සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකි අවකාශයන් සොයා ගැනීමට ජෝ බයිඩන් වඩා ක්‍රියාශීලි වනු ඇත. උදාහරණයක් ලෙස ගතහොත් කාලගුණික වෙනස්වීම් පිලිබඳ ප්‍රශ්නය විශේෂයෙන් සඳහන් කළ හැකිය.

By bbc sandesaya