එක් දිනයක් ඇතුළත Covid -19 ආසාදිතයන් 35,000කට අධික සංඛ්‍යාවක් වාර්තා කරමින් ඉන්දියාව එරට සමස්ත ආසාදිත ජන සංඛ්‍යාව දශ ලක්ෂය ඉක්මවා ගොස් ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය ළඟට කොරෝනා ආසාදිත දර්ශකයේ තුන්වෙනි තැන සිටින්නේ ඉන්දියාවය. එම රටවල් තුනම මේවනවිට කොරෝනා ආසාදිත ජන සංඛ්‍යාව අතින් දශ ලක්ෂය ඉක්මවා ඇත.
ඉන්දියාව ලෝක මට්ටමින් එම තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ආසාදිතයන් සුවපත්වීම අතින් ඉහළ හා මරණ සංඛ්‍යාවේ අඩු අනුපාතයක් වාර්තා කරමින් සිටින අතරය.
මරණ සංඛ්‍යාව දැනට 25,602 ඉක්මවා ඇති අතර එය කොරෝනා මරණ ප්‍රමාණය අතින් ලෝකයේ අටවෙනි ස්ථානය වේ.
ඉන්දියාවේ ප්‍රාන්ත මට්ටමින් විමසන විට එරට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබෙන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙනි. එම ප්‍රාන්තයෙන් වාර්තාවන කොරෝනාවෛරස් ආසාදිත සංඛ්‍යාව 180,000 ඉක්මවා ඇත.

ඒ අතරම ඉන්දියාවේ දකුණු ප්‍රාන්තවලින් ද අලුත් දරුණු කොරෝනා කළාප වාර්තාවෙමින් පවතී. කර්ණාටක සහ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත ඒ අතර මුල්තැන ගනී.
නැගෙනහිර ඉන්දියාවේ බිහාර් සහ බටහිර බෙංගාලය දෛනික මට්ටමින් කොරෝනා ආසාදිත ජන සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් පවතින තවත් ප්‍රාන්ත දෙකකි.
ඉන්දියාව සිය භූමියේ පළමු කොරෝනා ආසදිතයා වාර්තා කළේ පසුගිය ජනවාරි මස අවසාන දිනවලය. එහෙත් එම කාලය තුළ ඉන්දියානු භූමියේ වසංගතය පැතිරයාම ඉතා සෙමෙන් සිදුවන මට්ටමක පැවතුනි.
ඉන්දියානු ආණ්ඩුව පසුගිය මාර්තු මාසය වනවිට කල්තබාම ජාත්‍යන්තර ගුවන්ගමන් අත්හිටුවමින් ක්‍රියාවට නංවන ලද රට අගුලු දැමීමේ (Lockdown) දැඩි ක්‍රියාමාර්ගය හේතුවෙන් වසංගතය පැතිරයාම එක්තරා මට්ටමකින් සීමාකරගත් බව විශේෂඥයන්ගේ විශ්වාසය ය. එහෙත් මාස දෙකකට ආසන්න කාලයකට පසු එම අගුලු දැමීම අවසන් කරනු ලැබිණි.
රට අගුළු දැමීම ආර්ථික සහ මානවීය ජීවිතයට බරපතල ප්‍රහාරයක් වූ අතර එවැනි පසුබිමක් තුළ ජූනි මාසය අවසානයේ රට යළි විවෘත කරනු ලැබීමත් පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකරනු ලැබීමත් සමඟ ආසාදිත ජන සංඛ්‍යාව වේගයෙන් ඉහළ යන්නට විය.
පරීක්ෂණයට ලක්කිරීම, ආසාදිතයන් හඳුනාගැනීම සහ හුදෙකලා කර තැබීම සඳහා රට අගුළු දැමීම මගින් දෙන ලද අවස්ථාව දිල්ලි අගනුවර ඇතුළු ඇතැම් ප්‍රාන්ත අපතේ යවනු හැර ලැබ ඇතැයි විශේෂඥයෝ පවසති.
මේ වනවිට දිල්ලි අගනුවරට අයත් කලාපයෙහි කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ පහත වැටීමක් පෙන්නුම් කෙරෙන අතර ඉන්දියාවේ සෙසු ප්‍රදේශවල දක්නට ලැබෙන්නේ ආසාදිත ජන සංඛ්‍යාවේ වැඩිවීමකි.
බලධාරීන් ඊට ප්‍රතිචාරය දක්වා තිබෙන්නේ ප්‍රාදේශීය මට්ටමින් අගුළු දැමීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවමිනි. දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ‘චෙන්නායි’ නගරය අගුළු දැමීම පසුගියදා අවසන් කෙරුණ අතර, බැංගලෝර් නගරයේ සතියක අගුළු දැමීමක් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත.

ඉන්දියාව සහමුලින්ම විවෘත කරනු ලැබ ඇතත්,රට වසංගතයට එරෙහිව සටනක පැටලී සිටින හෙයින් ප්‍රාදේශීය මට්ටමින් කලින් කල ප්‍රකාශයට පත් කෙරෙන අගුලු දැමීම් සාමාන්‍ය දෙයක් බවට පත්වීමේ හැඩක් දක්නට ලැබේ.
ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාවේ ඇත්ත නැත්ත
කොරෝනාවෛරස් වසංගතය නිසා සිදුවෙන මරණ අනුපාතය අසාමාන්‍ය ලෙස පහත වැටීම ඉන්දියාව සඳහා ඉතා යහපත් පුවතකි.
එහි සමස්ත මරණ සංඛ්‍යාව ගත්විට එය ලෝකයේ අටවැනි ස්ථානයයි. එහෙත් ජනගහනය දශ ලක්ෂයකට එය පහළ අනුපාතයකි.
ඉන්දියාව පුරා Covid -19 මරණ සංඛ්‍යාව අතින් ප්‍රශ්න රාශියක් පැන නැග ඇත. ඇතැම්විට නියම සංඛ්‍යාව වාර්තා නොවන මට්ටමක පැවතීමට ඉඩකඩ ඇති බවට විශේෂඥයන් බොහෝදෙනෙක් එකඟ වෙති.
එහෙත් එම විශේෂඥයන් ද පවසන්නේ, උදාහරණයක් වශයෙන් ඉන්දියාව සහ බටහිර යුරෝපය අතර සැලකිය යුතු පරතරයක් ඉදිරිපත් නොවෙන බවය.
එසේම බංග්ලාදේශ් සහ ඉන්දුනීසියාව වැනි අසල්වැසි රටවල් සමඟ සාපේක්‍ෂව බලනවිට ඉන්දියාවේ Covid -19 මරණ අනුපාතය එම රටවලට සමාන මට්ටමක පවතී.