උතුරේ වැසියන්ට අවුරුද්දට ඉඩම් තෑගි

උතුරේ වැසියන්ට අවුරුද්දට ඉඩම් තෑගි
Spread the love

යුද හමුදාව විසින් ප්‍රයෝජනයට ගත් ඉඩම් වලින් විශාල ප්‍රමාණයක්‌ සිංහල හින්දු අලුත් අවුරුදු සමයත් සමඟම උතුරේ වැසියන්ට ලබාදීමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා 29 දා යාපනයේදී පැවැසීය.

යුද හමුදාපතිවරයා හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්‌ යාපනයේ කයිතඩි ප්‍රදේශයේ පිහිටි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්වුණු අතර එම හමුවෙන් පසුව අදහස්‌ දැක්‌වූ යුද හමුදාපතිවරයා කියා සිටියේ අවුරුදු මාසය උතුරේ වැසියන්ට ඉතාම වැදගත් මාසයක්‌ වන බව නිසැක බවයි.

ඉඩම් ප්‍රශ්නය පිළිබඳව ප්‍රධාන අමාත්‍යවරයා සමඟ ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බවත් ඊට අවශ්‍ය විසඳුම් ඉතා ඉක්‌මනින් පියවරෙන් පියවර සිදුකරමින් පවතින බවත් යුද හමුදාපතිවරයා කියා සිටි අතර ආරක්‍ෂක අංශ විසින් භාවිත කරනු ලබන යාපනයේ වැසියන්ට අයත් ගොඩනැඟිලි කීපයක්‌ පිළිබඳවද ප්‍රධාන අමාත්‍යවරයා තොරතුරු ඉදිරිපත් කළ බවත් එම ගොඩනැඟිලි ඉතා ඉක්‌මනින් නිදහස්‌ කිරීමට පියවර ගන්නා බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.

ඉන්දීය ධීවරයන්ගේ ප්‍රශ්නය පිළිබඳවද ප්‍රධාන අමාත්‍යවරයා මේ සාකච්ඡාවේදී කරුණු ඉදිරිපත් කොට ඇති අතර එම ප්‍රශ්නය සම්බන්ධයෙන් නාවික හමුදාව ඉතා අගනා කාර්යභාරයක්‌ ඉටුකරන බව දෙදෙනා අතර වූ සාකච්ඡාවේදී අවධාරණය වූ බවත් මේ සාකච්ඡාවේදී උතුරු පළාතේ වත්මන් තත්ත්වය පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බවද යුද හමුදාපතිවරයා කියා සිටියේය.