උදයංග අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු

උදයංග අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
Spread the love

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්‌රේනයෙන් මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට සැකසහිත ලෙස මැදිහත් වී රුපියල් කෝටි ගණනාවක්‌ අයුතු ලෙස උපයා ගැනීමේ චෝදනාව එල්ල වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට මූල්‍ය අපරාධ කොට්‌ඨාසය විසින් කරන ලද කරුණු දැක්‌වීමක්‌ සලකා බැලූ කොටුව මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (16දා) විවෘත වරෙන්තු නිකුත් කළාය.
 
මෙම නඩුව ඊයේ (16දා) කැඳවූ අවස්‌ථාවේදී මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක නිහාල්  මහතා වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් එම නඩුවේ සැකකරුවන් ලෙස විදේශ ජාතිකයන් පස්‌දෙනකු හා විදේශීය සමාගමක්‌ නම්කර ඔවුන්ට නොතිසි නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම සැකකරුවන්ට කුමන චෝදනා ගොනු කරන්නේද නැතහොත් ඔවුන් සිදු කර ඇති වැරදි කුමක්‌දැයි වෙන් වෙන්ව සවිස්‌තර ආකාරයෙන් ලිතව අධිකරණයට කරුණු දක්‌වා කරුණු තහවුරු කරන ලෙසට එහිදී විමර්ශන නිලධාරීන්ට නියෝග කළ මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම නඩුව ලබන 26 වැනිදා යළි කැඳවීමට නියම කළාය.
 
 සැකකාර උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකා ආගමන විගමන පාලකවරයා විසින් නිකුත් කර තිබූ විදේශ ගමන් බලපත්‍රයක්‌ උපයෝගි කර ගනිමින් ඩුබායි රාජ්‍යයේ සිට ඇමරිකා එක්‌සත් ජනපදය බලා යැමට උත්සාහ දැරීමේදී පසුගිය පෙබරවාරි 4 වැනිදා ගුවන් තොටුපළ බලධාරීන් රඳවාගෙන ප්‍රශ්න කර ඇත්තේ ඔහුට එරෙහිව නිකුත් කර තිබූ නිල් නිවේදනය අනුව බවද විමර්ශන නිලධාරීහු එහිදී සඳහන් කළහ.
 
 විදේශ ගමන් බලපත්‍රය රඳවාගෙන පදිංචි ස්‌ථානය හා දුරකථන සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු මුදාහැර ඇති බවත් පසුව පෙබරවාරි 12 වැනිදා ජාත්‍යන්තර පොලිස්‌ ශාඛාව විසින් රතු නිවේදන ඔහුට නිකුත් කර ඇති බවත් එහිදී දැන්වූ විමර්ශන නිලධාරීන් ඔහු පදිංචි බවට දැන්වූ ස්‌ථානයෙන් අතුරුදන්ව සිටීම නිසා එරට පිහිටි සියලුම ගුවන්තොටුපළ හා හෝටල් වෙත ඔහු අත්‍යවශ්‍ය සැකකරුවකු බවට දැන්වීමට ජාත්‍යන්තර පොලිසිය පියවර ගෙන ඇති බවද සඳහන් කළේය.
 
 එම ගනුදෙනුවට අදාළ මුල් ලේඛනවල පිටපත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව භාරයේ තිබියදී අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල ප්‍රගතිය කුමක්‌දැයි අධිකරණය එහිදී විමර්ශන නිලධාරීන්ගෙන් විමසා සිටි අතර එම විමර්ශනවල උධෘත උපදෙස්‌ ලබාගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇතැයි විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.