රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න හා පූරක සෙනෙවිරත්න යනු නිවුන් සොහොයුරන්ය. යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ඉකුත් 06 දා ඔවුන්ව එම තනතුරුවලට පත් කරන අතර එම තනතුරු ප‍්‍රදානයේ පැවැති තවත් සුවිශේෂී බවක් වන්නේ තම උපන් දින යෙදී තිබූ දිනම ඔවුන් දෙදෙනාට රාජකාරී උසස්වීම් හිමිවීමය. තිස් වසරක් පැවැති යුද්ධය තුළ සිය වාසගමට ගැළපෙන අයුරින් සැබෑ ‘‘සෙනෙවියන්’’ දෙදෙනෙකු ලෙස කටයුතු කර ඇති මෙම නිවුන් සහෝදරයන් දෙදෙනා එකම දිනක ශ‍්‍රී ලංකා යුද හමුදාවට එකතු වන අතර මේජර් ජෙනරාල් තනතුරු ලබා ගන්නේ එකම දිනයකය. එය මෙරට හමුදා ඉතිහාසය හා ගත් කල දැනටමත් ඉතිහාසයට එක්ව ඇති සුවිශේෂී සිදුවීමක්ය.
මේ වන විට මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න මාදුරුඔය පිහිටි යුද හමුදා පුහුණු පාසලේ සේනා විධායක ලෙසින් කටයුතු කරන අතර ඔහුගේ මලණුවන් වන මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න රාජකාරී කරනු ලබන්නේ ශ‍්‍රී ලංකා යුද හමුදා තත්ත්ව ආරක්‍ෂක හා පිරික්සුම් අධ්‍යක්‍ෂ ධුරයේය.
මේජර් ජෙනරාල් තනතුරෙහි රාජකාරි භාර ගෙන දින කීපයක ඇවෑමෙන් එම අසිරිමත් සිදුවීමේ සැබෑ හිමිකරුවන් දෙදෙනා එකවර මුණ ගැසීමේ අවස්ථාවක් අපට උදාවිය.
නිවුන් සොහොයුරන් වූ මේජර් ජෙනරාල්වරුන් දෙදෙනා පවසන පරිදි එයද තරමක් විරල සිදුවීමක්ය. එයට හේතුව බවට පත්ව ඇත්තේ ඔවුන්ගේ රාජකාරියේ ස්වභාවය හා ස්ථානීය දුරස්ථභාවය තුළ ඔවුනොවුන් එකට මුණ ගැසීම පවා දැන් දැන් සිදුවන්නේ කලාතුරකින් වීම හේතුවෙන්ය. එය නිමිති කරගනිමින් අපගේ කතා බහ ඉදිරියට ගිය අතර එම කතා බහ තුළ අපුරු සහෝදරත්වයක් සහිත නිවුන් සොයුරන් දෙදෙනෙකුගේ ළමා විය, පාසල් සමය හා ඉන් අනතුරුව උදා වූ යුද හමුදා ජීවිතය පිළිබඳ බොහෝ තොරතුරු විය. පළමුව සිය ළමා වියේ ඈතම ඉම මෙනෙහි කරමින් මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න කතා බහට එක්විය.
‘‘අපි දෙන්නගෙ ළමාවිය ගත්තොත් ඇත්තටම ඒක ඉතාමත් සුන්දර අතීතයක්. ඒකට එක හේතුවක් තමයි අපි උපන් ගම සහ එහි පැවැති වටපිටාව. ඒ වටපිටාව තුළ අපිට දුව පැන ඇවිදින්න නිදහස තිබුණා. ගෙවල්වලින් අද වගේ තදබල නීතිරීති දැම්මේ නෑ. කොහේ ගියත් අපි දෙන්න ගියේ එකට. ගමේ අනිකුත් ළමයි එක්ක අපි උසමහත් වුණේ එකම පවුලක දරුවො විදිහට. අපේ ගම රතනපුර දිස්ත‍්‍රික්කයේ තිරිවානකැටිය. අදත් ඒ ගම තුළ අපි කුඩා කාලයේ වින්ද සුන්දරත්වය තිබෙනව.’’
සිය ළමා විය පිළිබඳ ස්මරණයන් මේජර් ජෙනරාල්වරුන් දෙදෙනාගෙන් තවමත් පලාගොස් නැත. මතක අඩිපාර මත හදවතින් සක්මන් කළ මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න එහි රසමුසු තැන් යළිත් මෙනෙහි කරන්නට වූ අතර එම කතා බහ අතරට මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්නද වරින්වර එක් විය.
‘‘අපි දෙන්න මුලින්ම ඉස්කෝලෙ යන්නෙ රත්නපුර සීවලී විද්‍යාලයට. සාමාන්‍ය පෙළ විභාගය ලියනකම් සෑම අවුරුද්දකම අපි පන්තියෙන් පන්තියට ඉහළ යද්දීත් අපි දෙන්න ඉන්නෙ එකම පන්තියේ. එහෙම ගිහින් සාමාන්‍ය පෙළ සමත් වෙනවා. ඊළඟට උසස් පෙළ සඳහා විෂයන් තෝරා ගනිද්දී අපි දෙන්නම තීරණය කරනවා ගණිත අංශයෙන් උසස් පෙළ කරන්න. එතනදීත් අපි දෙන්න ඉන්නෙ එකම පන්තියේ, ඒ විතරක් නෙවෙයි විදුහලේ පාපන්දු කණ්ඩායමෙත් අපි දෙන්න ඉන්නවා. 13 පහළ කණ්ඩායමෙන් ආරම්භ කළ ඒ ගමන අපි දෙන්න නිමා කරන්නේ 19 පහළ කණ්ඩායමත් නියෝජනය කරලා. ඔය අතරේ විදුහලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයන් විදිහටත් අපිට කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. එතනදි මට (මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න) ප‍්‍රධාන ශිෂ්‍ය නායකකම හිමිවෙනවා. අධ්‍යාපන කටයුතුවලට අමතරව විෂය බාහිර ක‍්‍රියාකාරකම් බොහොමයක් කරන අතරේ අපි උසස් පෙළ විභාගයට පෙනී ඉන්නවා.’’
වර්ෂ 1965 සැප්තැම්බර් මස 06 වැනි දින උපත ලබන නිවුන් සොහොයුරන් වූ ඔවුන් උසස් පෙළ කඩඉමද ඉහළින් සමත් වන්නේය. එකල මෙරට පැවැති තිස් වසරක යුද්ධයේ ආරම්භක අවදිය විය. කලක් රාජකීය හමුදාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ජනසීහ සෙනෙවිරත්න සහ ලීලා සෙනෙවිරත්න යුවළගේ දෙවැනි පුතුන් යුගලය ලෙස මෙලොව දිනන ජයන්ත සහ පූරක උසස් පෙළ සමත්වීමත් සමග තම පියාණන් ගත් මග යමින් යුද හමුදාවට එක්වීමට තීරණය කරන්නේය. රට තුළ යුද්ධයක් ආරම්භ වී තිබීමත් ඒ සඳහා සක‍්‍රීයව මැදිහත්වීමට තම පුතුන් තිදෙනාගෙන් දෙදෙනෙක් එක්වරම තීරණය කිරීම ජයන්ත සහ පූරකගේ පියාණන් හට කොයි හැටි වෙතත් ඔවුන්ගේ මවට ඉවසුම් නොදෙන සුලූ කරුණක් වී ඇත. එහෙත් දිවි ගමන යනු කලින් කරන ලද සැලසුමක ඵලයක් නොවන බැවින් තම පියාණන්ගේ පූර්ණ ආශිර්වාදය මැද දෙසොහොයුරන් ශ‍්‍රී ලංකා යුද හමුදාවේ කැඩෙට් නිලධාරී තනතුරු සඳහා ඉල්ලූම් කර ඇත.
‘‘අපේ අප්පච්චි දෙවැනි ලෝක යුද්ධය වෙලාවේ රාජකීය හමුදාවේ සේවය කළ කෙනෙක්. ඒ හින්ද අපි හමුදාවට බැඳෙන්න ගත්ත තීරණයට ඔහු අකැමැත්ත ප‍්‍රකාශ කරන්නෙ නැහැ. නමුත් අම්ම මුලින් විරුද්ධ වෙනවා. කොහොම හරි අන්තිමට අපි දෙන්නව සම්මුඛ පරීක්‍ෂණයට එක්ක එන්නෙත් අපේ අප්පච්චි’’
ඉන් අනතුරුව වර්ෂ 1985 නොවැම්බර් පළමු වන දින පාඨමාලා අංක 21 යටතේ කැඩෙට් නිලධාරීන් වශයෙන් ශ‍්‍රී ලංකා යුද හමුදාවට එක්වන නිවුන් සොහොයුරන් දෙදෙනා දියතලාව යුද හමුදා පීඨයේ දින 30 ක පුහුණුවක් ලබන අතර ඉන් අනතුරුව වැඩිදුර පුහුණුව පිණිස පාකිස්තානය බලා නික්ම යන්නේය. එහිිදී සාමාජිකයන් 60 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම කොටස් තුනකට වෙන් කොට පුහුණුවීම් ආරම්භ කර ඇත. ඒ පිළිබඳ මේජර් ජෙනරාල්වරුන් දෙදෙනාගේ මතකයෙහි යම් ඉඩක් විය.
‘‘ඇත්තටම පුංචි කාලෙ ඉඳල උසස් පෙළ වෙනකම් එකට හිටිය අපි හමුදාවට බැඳුණට පස්සේ යම් හෝ දුරස්වීමක් වෙයි කියලා මුලින් මුලින් හිතුණා. නමුත් පාකිස්තානයේ පුහුණුවට ගියාට පස්සෙත් අපි දෙන්නම හිටියෙ එකම කණ්ඩායමක. ඊට පසුව තරුණ නිලධාරී පාඨමාලාවක් කරනවා එතැනදිත් අපි දෙන්නම එකට ඉන්නවා. ඒ පුහුණුවීම් නිමා කරලා නැවත අපි ලංකාවට එන්නෙ 1986 ජුලි මාසෙ 24 වැනිදා. ඒ ඇවිත් මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ කැලෑ සටන් පිළිබඳ පාඨමාලාවක් කරනවා. එතැනදීත් අපි දෙන්නට එකට ඉන්න අවස්ථාව හිමිවෙනවා. ඇත්තටම මේ හැම දෙයක්ම අහම්බෙන් සිදු වූ සිදුවීම්. මේ සියලූ පුහුණු කටයුතු නිමා කරලා 1987 ජනවාරි මාසෙ 20 වැනිදා තමයි වෙන වෙනම ඒකක දෙකකට අපි දෙන්නව අනුයුක්ත කරන්නෙ.’’
උපන්දා සිට එතෙක් දිනක් එක මග එකට පැමිණි ගමන අභිමුව දෙමංසලක් මුණ ගැසෙන්නේ ඉන් අනතුරුවය. ඒ අනුව තරුණ යුද හමුදා නිලධාරීන් ලෙස පූරක සෙනෙවිරත්න සංඥා බළකායත් ජයන්ත සෙනෙවිරත්න පාබල හමුදාවත් නියෝජනය කරමින් වෙන වෙනම රාජකාරී කොට ඇත. රාජකාරී හේතූන් මත සිදු වූ ඔවුනොවුන්ගේ දුරස් වීම ගතින් පමණක් සිදු වූ දුරස්වීමක් පමණය. දහසක් රාජකාරී මැද වූවද හැකි සෑම අවස්ථාවකම එකිනෙකාගේ සුවදුක් විමසා ගැනීම ඔවුන්ගේ පුරුද්දක් බවට පත්ව ඇත.
‘‘ඇත්තටම එදා තරමක් සංවේදී දවසක් මොකද අවුරුදු 20 ක් අපි දෙන්න එකටමනෙ හිටියේ. නමුත් අපි වෙන වෙනම ඒකකවලට අනුයුක්ත උනාට පස්සෙ එකට මුණ ගැසෙන එක ටික ටික අඩුවෙලා යනවා. විශේෂයෙන් ගෙදරදී මුණ ගැසීම සිද්ධ වුණේ ඉතාමත් අඩුවෙන්. මොකද එකවර නිවාඩු අරගෙන අපිට ගෙදර එන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑනෙ. යුද්ධය පැවැති අවදියෙත් අපි දෙන්න වැඩි වශයෙන් රාජකාරි කළේ උතුරු නැගෙනහිර. සටන් බිමේදී අපි වරක් දෙවරක් විතර මුණ ගැහිලා තියෙනවා. විශේෂයෙන් බලවේගය ෂ මෙහෙයුම, වන්නි වික‍්‍රම මෙහෙයුම ඇතුළු ක‍්‍රියාන්විත රාශියකට විශේෂයෙන්ම මගේ අයිය (මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න) සහභාගී වෙලා තියෙනවා. බලවේගය ෂ මෙහෙයුම වෙලාවෙ අපි දෙන්නම එක සටන් පෙරමුණක හිටියා. එතනදී නිතරම සිද්ධ වුණ දෙයක් තමයි අපේ ඉහළ නිලධාරීන්ට අපි දෙන්නව වෙන් කරලා හඳුනගන්න බැරි වීම. එතනදී මට කියන්න ඕන එක සමහර වෙලාවට අයියට කියනවා. අයියට කියන්න ඕන එක මට කියනවා. ඔය වගේ පොඩි පොඩි පැටලිලි ඒ කාලෙ ඕන තරම් සිද්ධ වුණා. අද උනත් අපි දෙන්නව වෙන වෙනම හඳුනගන්න පුළුවන් වෙලා තියෙන්නෙ ඉතාමත් සීමිත පිරිසකට පමණයි. අපේ ඒකකවල නිලධාරීන් හා පාසල් සමයේ මිතුරන් දන්නව පූරක කවුද ජයන්ත කවුද කියලා. ඒ හැරුණු කොට අදටත් ඒ ගැටලූව තියෙනවා.’’
යුද හමුදා ජීවිතයට පිවිසීමෙන් අනතුරුවද ඔවුන් ලූතිනන් කර්නල් ධුරයන් දක්වා උසස්වීම් ලබාගෙන ඇත්තේ එකවරය. ඉන් අනතුරුව ඒකකවල පවතින පුරප්පාඩු හේතුවෙන් එහි යම් වෙනසක් සිදුවන අතර එහිදී පූරක සෙනෙවිරත්න පසු කරමින් ජයන්ත සෙනෙවිරත්න පියවරක් දෙකක් පෙරට ගොස් ඇත. කල්යත්ම නැවතත් ඔවුන්ගේ යුද හමුදා ජීවිතයේ සම තනතුරුවලට පත්වන අතර එම සුවිශේෂී සිදුවීම සිදුවන්නේ ඉකුත් 6 වැනිදාය. එකම දිනක් තුළ යුද හමුදා සේවයට එක්වීමත් ඉන් දශක තුනක පමණ කාලයකින් අනතුරුව නැවතත් එකම දිනක මේජර් ජෙනරාල් තනතුරු හිමිවීමත් පිළිබඳ මේජර් ජෙනරාල්වරුන් දෙදෙනාගෙන් කළ විමසීමට පිළිතුරු සපයන්නට වූවේ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න විසින්ය.
‘‘ ඇත්තටම සතුටක්. ඒ වගේම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. විශේෂයෙන්ම මේ තනතුරු සඳහා අපිව නිර්දේශ කරල ඒ සඳහා අදාළ කටයුතු කළ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට අපේ ගෞරවනීය ආචාරය මේ වේලාවෙ පුදකර සිටිනවා.
‘‘ඒ වගේම කුඩා කාලයේ පටන් අපට යහමග පෙන්වා දුන්න රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයට හා අපට අධ්‍යාපනය ලබාදුන් ගුරු මණ්ඩලයට අපේ ආචාරය මේ වෙලාවෙ පුදකර සිටිනවා.’’
මේජර් ජෙනරාල්වරුන් දෙදෙනා සමග තවත් බොහෝ දේ කතා කිරීමට ඇතත් ඊට කාලය හරස්වී ඇත. එළඹෙමින් පැවතියේ ඔවුන්ගෙන් සමුඅරන් යා යුතු මොහොතය. කැඩෙට් නිලධාරීන් දෙදෙනෙකු වශයෙන් ශ‍්‍රී ලංකා යුද හමුදාවට එකතු වූ ඔවුන් මේ වන විට මේජර් ජෙනරාල් ධුරයන් සඳහා උසස්වීම් ලබා ඇත. ඒ පිළිබඳව ඔවුන් තුළ පවතින්නේ නිහතමානී සතුටක්ය. මේජර් ජෙනරාල්වරුන් දෙදෙනා සමග ගත කළ කෙටි වේලාව තුළ පවා දැක ගත හැකි වූවේ කොතරම් ඉහළ තනතුරු දරන්නන් වූවද ඔවුන් දෙදෙනා තුළ තවමත් අඩු නැතිව පවතින සහෝදරත්වයේ තරම සහ ඔවුන්ගෙන් වහනය වන සහෝදරත්වයේ සුවඳය.