ඔස්ට්‍රේලියානු රග්බි ක‍්‍රීඩකයා තම බිරිය සහ බිළිදු දරුවන් තිදෙනාම ඝාතනය කරලා

ඔස්ට්‍රේලියානු රග්බි ක‍්‍රීඩකයා තම බිරිය සහ බිළිදු දරුවන්  තිදෙනාම ඝාතනය කරලා
Spread the love

මෝටර් රථයට ගිනි තබා “උමතුවෙන් මරා දැමුණු ” කාන්තාවක සහ ඇයගේ දරුවන් තිදෙනා ගැන ඔස්ට්‍රේලියාව දැඩි ලෙස ශෝකයට පත්ව ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසයි.

හිටපු රග්බි ක්‍රීඩක රෝවන් බැක්ස්ටර් සිය සිරුරට පිහි පහර එල්ල කර සිය දිවි නසා ගැනීමට පෙර බ්‍රිස්බේන් නුවරදී අදාළ මෝටර් රථයට ගිනි තැබූ බවට සඳහන් වාර්තා තහවුරු කර ගැනීමට පොලිසිය ක්‍රියා කරමින් සිටී.

කෙසේ වෙතත් මෙම සිද්ධිය පිටුපස ගෘහස්ත හිංසනය පිළිබඳ ඉතිහාසයක් ඇතැයි ඔවුහු සනාථ කළහ. ඝාතනයට ලක් වූවන් වන්නේ 31 හැවිරිදි හැනා බැක්ස්ටර් සහ ඇයගේ දරුවන්ය. මෙම සිද්ධියත් සමග ගෘහස්ත හිංසනය සම්බන්ධයෙන් එරට විරෝධතා මතු වී තිබේ.

“නගරයට තදාසන්න වීදියක සිදු වූ මේ සිද්ධිය නිසා රට පුරා සිටින ඕස්ට්‍රේලියානුවන් කම්පනයටත්, කනගාටුවටත් පත්ව සිටිනවා” යැයි අගමැති මොරිසන් බ්‍රහස්පතින්දා දින (පෙබරවාරි 20) වාර්තාකරුවන්ට පැවසීය.

“අනුකම්පා විරහිතව සහ උමතුවෙන් සිදු කළ දරුණු අපරාධයකින් හැනා සහ ඇගේ දරුවන් තිදෙනා ඝාතනය කර තිබෙනවා,” ඔහු පැවසුවේය.

දරුවන් සහ ඔවුන්ගේ මව ඝාතනය කර ඇති අතර, රෝවන් බැක්ස්ටර්ගේ මරණය සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයක් නොමැති බව ක්වීන්ස්ලන්ඩ් පොලිසිය පැවසීය.

“වර්තමානයේදී පවුල් සංස්ථා තුළ දකින්න ලැබෙන දැඩි කෝපය සහ ගෘහස්ත හිංසනය පුද්ගලයන් පස් දෙනෙකුගේ මරණයට හේතු වී තිබෙනවා,” පොලිස් නිලධාරී මාර්ක් තොම්සන් පැවසීය.

බදාදා (පෙබරවාරි 19) කෑම්ප් හිල් ප්‍රදේශයේ සිදු වූ මෙම සිද්ධිය ගැන පොලිසියට දැනුම් දී ඇත්තේ එරට වේලාවෙන් උදෑසන 8.30ටය.

Hannah Baxter
මෝටර් රථයට සම්පූර්ණයෙන් ගිනි ඇවිලී තිබුණු බව පොලිසිය පවසයි

ඔවුන්ගේ දරුවන් වන සය හැවිදිරි ලියානා, අවුරුදු හතරක් වයසැති ආලියා, තුන් හැවිදිරි ට්‍රේ මෝටර් රථය තුළ මියගොස් සිටි අතර, මව හැනා බැක්ස්ටර් ඒ අසල බිම ගින්නෙන් දැවෙමින් සිට ඇත. දැඩි පිළිස්සුම් තුවාල ලැබූ ඇය රෝහල්ගත කළ පසු මිය ගියාය.

ඔවුන්ට පිහිට වීම සඳහා දිව ආ පුද්ගලයන්ට “ඔහු මට පෙට්‍රල් වත් කළා.. මගේ දරුවන් බේරා ගන්න” යැයි ඇය කෑ ගැසූ බව සාක්ෂිකරුවන් ඔස්ට්‍රේලියානු මාධ්‍යයට පවසා ඇත.

සහයට පැමිණි පුද්ගලයන් වළක්වා ලූ 42 හැවිරිදි රෝවන් බැක්ස්ටර් මෝටර් රථය තුළින් පිටතට ගත් පිහියකින් සිය සිරුරට ඇන සිය දිවි හානි කර ගත් බව ඔවුහු පැවසූහ. හදිසි සේවා අංශවලට ඔහුගේ දිවි ගලවාගත නොහැකි විය.ො

සිද්ධිය වන අවස්ථාවේ මෝටර් රථය පදවමින් සිට ඇත්තේ හැනා බැක්ස්ටර් බව පොලිසිය පවසයි.

වින්දිතයින් ගැන දන්නේ කුමක්ද?

හැනා බැක්ස්ටර් මින් පෙර ගෘහස්ත හිංසනය සම්බන්ධ ගැටලුවලට පවුල් සේවාවන්ගේ සහය ලබාගෙන ඇති අතර, අධිකරණ නියෝග ගණනාවක් ද ලබාගෙන ඇතැයි පොලිසිය පැවසීය.

Hannah Baxter
“ඇයගේ ජීවිතය වුණේ ඇයගේ දරුවන්”

හැනා බැක්ස්ටර් හෙවත් හැනා ක්ලාක් තම සැමියාගෙන් වෙන්වීමෙන් පසු දරුවන් ද සමග කෑම්ප් හිල්හි පිහිටි ඇයගේ දෙමාපියන්ගේ නිවසට පසුගිය වසරේදී පදිංචියට ගොස් තිබේ. දරුවන්ගේ භාරකාරත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ඔවුන් දෙදෙනා සාකච්ඡා කරමින් සිට ඇත.

“ඇය ඔවුන්ට දැඩි ලෙස ආදරය කළා. ඔවුන් ආරක්ෂා කර ගැනීමට ඇය හැකි සෑම දෙයක් ම කරමින් සිටියා,” ඇයගේ මිතුරිය වන කේයිට්ලින් ලැන්ග්ෆර්ඩ් ඔස්ට්‍රේලියානු මාධ්‍යවලට පැවසුවාය.

“හැනාව මේ රාක්ෂයාගෙන් බේරා ගැනීමට උත්සාහ කරලා ම ඇයගේ දෙමාපියන් දැඩි වෙහෙසට පත් වෙලා,” යැයි අවමංගල්‍ය වියදම් සඳහා අන්තර්ජාලය ඔස්සේ අරමුදල් රැස් කරන ඥාතියෙකු පැවසීය.

“හැනාව හඳුනන අය හෝ එක් වරක් ඇය මුණගැසී ඇති සියල්ලන් ම දන්නවා ඇති ඇය කෙතරම් සුන්දර ආත්මයක් තිබෙන පුද්ගලයෙක් ද කියලා. ඇයගේ ජීවිතය වුණේ ඇයගේ දරුවන්,” යැයි හැනාගේ නෑනා වන ස්ටේසි රොබට්ස් පැවසුවාය.

රෝවන් බැක්ස්ටර් මීට පෙර ඕක්ලන්ඩ්හි ‘නවසීලන්ත වොරියර්ස්’ රග්බි ලීග් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය. මෑතකදී ඔහු සිය බිරිඳ සමග බ්‍රිස්බේන් නගරයට නැගෙනහිරින් පිහිටි ‘කපලාබා’ ප්‍රදේශයේ ව්‍යායාම මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබිණි.

ව්‍යායාම් මධ්‍යස්ථාන වෙබ් අඩවියේ හැනා බැක්ස්ටර් හඳුන්වා ඇත්තේ, “උනන්දු, උද්‍යෝගිමත් තිදරු මවක්” සහ ජාත්‍යන්තර පදක්කම් දිනාගත් ප්‍රාන්ත ට්‍රැම්පොලින් ශූරියක ලෙසිනි.

ප්‍රතිචාර මොනවා ද?

වින්දිතයින් වෙනුවෙන් උපහාර බොහොමයක් සංවිධානය කර තිබුණු අතර, #HannahBaxter හෑෂ් ටැගය ඔස්ට්‍රේලියානු ට්විටර් සමාජ මාධ්‍ය ජාලය තුළ විශාල වශයෙන් ජනප්‍රිය වී තිබේ.

කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳ දැඩි කනස්සල්ල, කෝපය සහ බලාපොරොත්තු සුන්වීම් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙමින් තිබේ.

Hannah Baxter

සංඛ්‍යා ලේඛන කාර්යාංශයට අනුව ඔස්ට්‍රේලියාව තුළ සාමාන්‍යයෙන් සතියකට එක් කාන්තාවක් සිය වත්මන් හෝ හිටපු පිරිමි සහකරුවෙකු විසින් ඝාතනය කරනු ලබයි.

“#HannahBaxter සහ ඇයගේ කුඩා දරුවන් තිදෙනා අද ඉතාමත් ම නින්දිත ලෙස මිය ගියා. ඔවුන් ආරක්ෂිතව සිටිය යුතුව තිබුණා. අහිමි වූ ජීවිත ගැන දුක් වන අතර අපේ සිතුවිලි ඔවුන්ගේ පවුලේ අය, මිතුරන් සහ ප්‍රජාව සමග බව දන්වා සිටිනවා,” හිටපු ඔලිම්පික් පාපැදි ක්‍රීඩක ට්‍රේසි ගෝඩ්රි පැවසීය.

“තවත් සතියකදී තවත් මිනිසෙක් සිය බිරිඳ සහ පවුල විනාශ කරලා. ඔස්ට්‍රේලියාව, අපි මේ ගැන කතා කළ යුතුයි,” යැයි ඕස්ට්‍රේලියානු කවියෙකු වන රොබ් ස්කොට් පැවසුවේය.

කාන්තාවන් සහ ළමුන් ගොදුරු වූ ඉහළ ගණයේ මිනීමැරුම් නඩු ගොන්නට මෙම නඩුව ද එකතු වී තිබේ.

2018දී තම බිරිඳ, දරුවන් තිදෙනා සහ ඔවුන්ගේ මිත්තණිය නිවස තුළදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පර්ත්හි පදිංචිව සිටි පුද්ගලයෙකු ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට පසුගිය ජූලි මස අධිකරණය තීන්දු කළේය.

text by BBC sandesaya