1954 වසරේදී දෙවන එළිසබත් රැජින ලංකාවේ සංචාරයේදී මීගමු පුරවරයෙන් තෝරාගත් පැරණි තානායම (මේ වන විට ඇති නව තානායම) එවකට රැජිනද පැමිණි පිරිසද නවාතැන් ගත් බවට සාක්‍ෂි පවා ඇත.
එවන් ප්‍රභූන් එදා සිට මේ දක්‌වා ආකර්ෂණය කරගත් විදෙස් සංචාරකයන් අතර ශ්‍රී ලංකාවේ එක් සුන්දර වෙරළක් ලෙස සුප්‍රකටව පුංචි රෝමය නමින් නම් පටබැඳි මීගමුව වෙරළ තීරය මේ වන විට වැනසී යමින් පවතී.
ඒ තරමට දිනෙන් දින ලියලා වැඩෙන වෙරළ තීරයේ පිහිටුවා ඇති කරවල වාඩි සහ කරවල කඩ හා විවිධ අස්‌ථිර සුළු ව්‍යාපාර නිසාය. මේ නිසා සුන්දර මීගමුව වෙරළ අපායක් බවට පත්වෙමින් පවතී.
පස්‌වන ජෝර්ඡ් රජතුමාද මෙම තානායමේ නැවතී මීගමුවේ එවකට පැවැති රුවල් ඔරුවලින් විදහා පෑ අලංකාරවත් වූ සුන්දරත්වයේ සිරි නරඹමින් අනතුරුව මීගමුව යන නාමය ලෝක ප්‍රකට කර තිබුණි.
නිදහසට පෙර සිට ලොව සුපතළව තිබූ මීගමුව වෙරළේ සුන්දරත්වය හේතුවෙන් විදේශිකයන් කොළඹ වරායෙන් සහ කටුනායක ගුවන්තොටුපළින් පිවිසීමෙන් අනතුරුව මීගමුව සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන තෝරා ගැනීමට පෙළඹී සිට ඇත්තේ අනාදිමත් කාලෙක සිටය.
එවන් සුන්දර වෙරළේ අගය මුදල් කොළවලට සඟවා මේ වන විට දෙතුන් දෙනකුගේ හිතුවක්‌කාරී ක්‍රියාවන් නිසා මීගමු මුවදොර අපායට පිවිසෙන මුවදොරක් බවට පත්වෙමින් පවතී.
එලෙස සිදුවන්නේ මහා පරිමාණයෙන් කරවල ව්‍යාපාරය පවත්වාගෙන යන මුදලාලිලා කිහිප දෙනෙක් ගේ භුක්‌තියක් බවට මෙම වෙරළ තීරය පත්කර ගැනීමය.
එලෙස අනාවරණය කරන කීප දෙනෙක් කනගාටුවෙන් පවසා සිටින්නේ මෙම උවදුර ගැන වගකිවයුත්තන් නෙත් යොමුවන්නේ නැත්නම් මෙය උඩුදුවන කාරණයක් වෙනවාට සැකයක් නොමැති බවයි.
වෙරළ සංරක්‍ෂණ නීති රීති පවා මායිම් නොකර අනවසර ගොඩනැඟිලි ඉදිකර ගනිමින් සුළු හා මහා පරිමාණ වශයෙන් කරවල සඳහා කපනු ලබන මසුන්ගේ හිසේ කොටස්, කරමල්, බඩවැල් වැනි ඉවතලන කොටස් සහ මත්ස්‍ය රුධිරය සහිත ජලය දිනකට විශාල ප්‍රමාණයක් මුහුදට මුදාහරිමින් සිටී.
වත්මනේ ඉතා ජනප්‍රිය ජාතික පාසලක් වන මීගමුව නිවුස්‌ට්‌ටඩ් බාලිකා විදුහලද වෙරළ ආසන්නයේ පිහිටා ඇත.
ඉහත කී කරවල වාඩි එම විදුහලේ පිටුපස වෙරළ තීරය දක්‌වා ඇත. මෙම විදුහලේ දූවරුන් ඉගෙනුම ලබා නිවෙස් කරා ගිය පසුද ඔවුන්ගේ ඇඳුම්වලින් කරවල ගඳ නොනැසී පවතී.
මෙම සුන්දර වෙරළ තීරයේ එක් කොටසක මත්ස්‍ය වෙළෙඳ පොළක් පවත්වාගෙන යන අතර එය පසුගිය රජය සමයේ එවකට විශාල මුදලක් වැයකරමින් තනා වෙළෙඳුන් සන්තක කර දුන් අතර එය මේ වන විට කඩා වැටෙන තත්ත්වයට පත්ව ඇත.
මේ ස්‌ථානයේ ප්ලාස්‌ටික් පොලිතින් අපද්‍රව්‍යවලින් වෙරළ අපවිත්‍ර වීමද බහුල වශයෙන් සිදුව තිබේ.
මේ අවට සුළුපන්න ධීවරයන්ගේ මත්ස්‍ය නෙළීමට අවශ්‍ය තරමට මුහුදේ මසුන් බෝවීමේ අඩුවක් ඇති බවද සුළුපන්න ධීවරයන් කනස්‌සල්ලෙන් පවසා සිටියි.
මෙම සියලුම ප්‍රශ්න ලේසියෙන්ම විස¹ ගැනීමට හැකියාවක් ඇතිවන පරිදි නොබෝ දිනකදී විවෘත කිරීමට සැරසෙන කාමච්චෝඩේ දිවි නැඟුමෙන් ඉදිකළ පොළ තුළ ඉඩකඩ වෙන්වන්නේ නම් නිසි කළමනාකාරීත්වයකට අනුව මීගමුව සුන්දර වෙරළ රැක ගැනීමට හැකිවනු ඇත. වෙරළ සංරක්‍ෂණ පනතේ ඇති ප්‍රතිපාදන උපයෝගී කරගෙන මහ නගර සභා සහ නාගරික සංවර්ධන පනත ක්‍රියාත්මක කර හිතුවක්‌කාරී කරවල ව්‍යාපාරිකයන් දෙතුන් දෙනා ඉදිකර ඇති සියලුම ඉදිකිරීම් ඉතා ලේසියෙන්ම ඉවත් කිරීමට හැකියාවක් ඇති බව ප්‍රදේශවාසීහු කියති.