කසිප්පු අල්ලන්න යද්දී ජාවාරම්කරුගේ බිරිඳ කොස්‌තාපල්ට පහරදීලා

කසිප්පු අල්ලන්න යද්දී ජාවාරම්කරුගේ බිරිඳ කොස්‌තාපල්ට පහරදීලා
Spread the love

මරදන්කඩවල ගනේවල්පොළ කටුවැව ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් අලෙවි කරන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පෙරේදා (22) සවස එහි ගිය කැකිරාව පොලිස්‌ ස්‌ථානයේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් සැකකරු නීති විරෝධී මත්පැන් සමග අත්අඩංගුවට ගෙන කොස්‌තාපල්වරයකු භාරයට පත් කොට තවදුරටත් නීති විරෝධී මත්පැන් ඇත්ද යන්න සෙසු පොලිස්‌ නිලධාරීන් පිරිස සොයමින් සිටියදී මත්පැන් ජාවාරම්කරුගේ බිරිඳ විසින් කොස්‌තාපල්වරයාට සාපරාධී බලහත්කාරය පා සැකකරු මුදා ගැනීමෙන් පසු සැකකරු ඉරන ලද කොටයක පිට පලු ලෑල්ලකින් පහරදී පළා යැමට උත්සාහ කිරීමේදී සැකකරු සහ ඔහුගේ බිරිඳ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
 එම අවස්‌ථාවේ මත්පැන් ජාවාරම්කරු එල්ල කළ පිට පලු ලෑලි ප්‍රහාරයෙන් පොලිස්‌ කොස්‌තාපල් නාමල් මහතාගේ ( 56584) අතක මැණික්‌ කටුව ප්‍රදේශයේ ඇති වූ තුවාල හේතුවෙන් ඔහු ප්‍රතිකාර සඳහා කැකිරාව දිසා රෝහලට ඇතුළත් කොට ඇත.
 
 පෙරේදා (22) සවස 3.40 ට පමණ කැකිරාව පොලිස්‌ ස්‌ථානයේ උප පොලිස්‌ පරීක්‌ෂකවරයකු ඇතුළු නිලධාරීන් මත්පැන් ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්‌ථාවේ මෙම සිද්ධිය වී තිබේ.
 
 මත්පැන් ජාවාරම්කරු විසින් නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීම සහ රාජ්‍ය නිලධාරියකුට සාපරාධී බලහත්කාරය පා පහරදීම යන චෝදනාව යටතේ සහ ඔහුගේ බිරිඳ රාජ්‍ය නිලධාරියකු හට සාපරාධී බලහත්කාරය පා පොලිස්‌ නිලධාරියකු භාරයේ නිත්‍යානුකූලව අත්අඩංගුවේ සිටි සැකකරුවකු අත්අඩංගුවෙන් මුදා ගෙන සැකකරුට පළා යැමට ආධාර කිරීම යන චෝදනාව යටතේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.