මෙරටට ආනයනය කරන සහල් අඩු මුදලට පිටකොටුවෙන් ටොන් ගණනින් ලබාගෙන දේශීය සහල් බව අඟවා පාරිභෝගිකයන්ට වැඩි මිලට විකිණීමේ ජාවාරමක සුළමුල හෙළි කර ගැනීමට හැකි වූ බවත් මෙසේ කාලයක් තිස්සේ දේශීය සහල් මෝල් හිමියන් විසින් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවත් පසුගිය කාලයේ සහල් මිල ඉහළ යැමට එය බලපා ඇති බවත් පසුගියදා රැස් වූ ආර්ථික කමිටු රැස්වීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සහ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පවසා ඇත.
රජය ලබාදුන් අවසරය මත පිටකොටුවේ තොග වෙළෙඳුන් සහල් ආනයනය කරන අතර දේශීය සහල් මෝල් හිමියන් කන්ටේනර් වශයෙන් ඉතා අඩු මිලට එම සහල් ලබා ගෙන දේශීය සහල් ලෙස සකසා වැඩි මිලට රට පුරාම විකුණා ඇති බව ඇමැතිවරයා සඳහන් කළේය.ඉතා ඉක්මනින් එම සහල් මෝල් හිමියන් පිළිබඳව සොයා බලා පාරිභෝගික අධිකාරිය හරහා ඔවුන් අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ඇමැතිවරයා වැඩිදුරටත් ප්රකාශ කළේය.