කුසේ ඉන්න දරුවා බේරගන්න තම ජිවිතයම කැපකළ මතු බුදුවන අම්මා කෙනෙකුගේ අැත්ත කතාව…

කුසේ ඉන්න දරුවා බේරගන්න තම ජිවිතයම කැපකළ මතු බුදුවන අම්මා කෙනෙකුගේ අැත්ත කතාව…
Spread the love

ආදරණීය අම්මාවරුන් ගැන වැඩිපුර කතා කරන මේ කාලයේදී අපේ රටේ ඉන්න ජේෂඨ මාධ්‍යවේදියෙකු තම මෑණියන් ගැන තැබූ සංවේදී සටහනක් අපට හමු වුනා. අපේ රටේ ඉන්න ජේෂ්ඨ මාධ්‍යෙව්දියෙකු,නිවේදකයෙකු වගේම ශ්‍රී ලාංකීම මාධ්‍ය ක්ෂේස්ත්‍රය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකල ශ්‍රි නිමල් පද්ම කුමාර මහතා තම මෑණියන් ගැන තැබූ මේ සටහන වර්තමානයේ ජීවත් වන බොහෝ මව්වරුන්ට ආදර්ශයක් සපයනවා. ඒ නිසාම මේ කතාව අපි ඔබටත් කියන්න හිතුවා.

” මගේ අම්මා .. මගේ අම්මාගේ නම සෝමා වික්‍රමනායක. ඇය මියයන්නේ 1961 දී.. ඒ කියන්නේ මට යන්තම් වයස 6 පිරුනා පමණි . ඇය මහජන සෞඛ්‍ය සේවිකාවක , වින්නඹු සේවිකාවක නිසා ඇගේ ස්ථාන මාරු සමග අපටත් බොහෝ තැන් වලට පදිංචියට යාමට සිදුවී ඇත. එළෙස ඇය රදාවඩුන්න ගමේ සේවය කරද්දී මීරිගම රජයේ රෝහලේ දී මා උපදින්නේත්, හත්තිනිය ගමේ සේවය කරද්දී කොස්වාඩිය සරස්වතී මහා විද්‍යාලයට මා ‘අ’ යන්න කියන්නට යන්නේත් ඒ නිසාය. මගේ කුඩා කලදීම අම්මාගේ උණුසුම නැති වුනත්, තාත්තා මාවත්, අයියාවත් හදා වඩා ගන්නට නොහැකි නිසාම නිවසට කැන්දාගෙන ආ දෙවැනි විවාහයේ අම්මා , අවුරුදු 54 ක්ම මාගේ ‘ප්‍රජාපතී ගෝතමිය’ ම වීම නිසා අපට පාළුවක් නොදැනින.

එහෙත් ජීවිතයේ සෑම වැදගත් මොහොතකම අම්මා සිහිව කදුළු සැළුනු ආකාරය අදටත් එසේමය. ඇගේ ත් මගේත් කතාන්දරයේ අනුවේදනීය ම අවස්ථාව පසු කලෙක තාත්තාත්, ඇගේ නංගිලා වූ පුංචි අම්මලාත් මට විස්තර කළේ කදුළු පිරුනු දෑස් ඇතිවය. මා ඇගේ කුසට පැමිණි කාලයේ ඇය අධික රුධිර පීඩනය හා අධික දියවැඩියා තත්වයෙන් පෙලී ඇති නිසා ඇගේ කුස මෝරන්නට, මෝරන්නට ඇය බරපතල ලෙස රෝගාතුර වී ඇත.

ඇය ද සෞඛ්‍ය සේවිකාවක් වූ නිසා රෝහල් වෛද්‍යවරු ඇයගේ ජීවිත අවදානම ගැන සැළකිල්ලට යොමු කොට ඇගේ කුස මෝරන්නට පෙර කුසේ ඉන්නා දරුවා ඉවත් කළ යුතු බවට යෝජනා කර ඇත. ඇය බරපතල ලෙස රෝගාතුරව රෝහල් ගත කළ අවස්ථාවේ …. ” සෝමා ඔයා ඉන්නේ හරිම අවදානමක .. ඔයාගෙ ජීවිතය ගැනයි අපි මුලින්ම බලන්න ඕනෙ .. මේ දරුවා මෝරලා .. හම්බවෙන්න යන වෙලාව වෙනකොට ඔයාගෙ ජීවිතේ ගැන විස්වාස කරන්න බැරි වෙනවා. ඒක හන්දා මේ දරුවා දැන්මම අයින් කරන්නම වෙනවා…” බරපතල ලෙස රෝගීව ජීවිතය හෝ මරණය තෝරාගන්නට සිදුවූ මොහොතේ මගේ අම්මා පවසා ඇත්තේ අපූරු කතාවකි.

” ඩොක්ටර් …මේ බඩේ ඉන්න දරුවා .. හම්බවෙන්න පුළුවන් වෙනකල් මෝරලා නිරෝගීව හම්බවෙනව නං ඒ වෙලාවෙ මං මළත් කමක් නෑ .. එදාට මං මළත් මේ දරුවා ලෝකෙට බිහිවෙන්න ඕනෙ ..” මගේ අම්මා ඒ මතයේ ම සිටි නිසා මගේ උපත සිදුවූවත්, ඒ මොහොතේ ඇය ඉතා බරපතල ලෙස රෝගීව ජීවිත අවදානමේ සිටි බැවින් බිළිදු පුතා දකින්නට ද අවස්ථාවක් නොලැබ වෙනම දැඩි උපස්ථාන ලබමින් දින ගණනාවක් දරුවාගෙන් ඈත්ව තැබූ බැවින් මට මගේ අම්මාගෙන් ‘මව් කිරි’ බීමට අවස්ථාවක් ලැබී නැත. වාට්ටුවේ සිටි නර්ස් නෝනා කෙනෙක් දරුවන් ලැබ තම ඇදන් වල වැතිරී ඉන්නා වෙනත් අම්මලා කිහිප දෙනෙකුගේ ඇකයන් හි මාව තබා ඔවුනගේ ඉතිරි කිරි වලින් මගේ කුස පුරවා හිස්ව ඇති අපේ ඇදෙහි තොටිල්ලේ මා තැබූ බව පසු කලෙක තාත්තා කියනු අසා ඇත.

මගේ අම්මා දොස්තර උපදෙස් මත එදා තම ගැබ හිස් කර ගත්තා නම් අද ශ්‍රී නිමල් පද්මකුමාර නම් වූ මිනිසා ලොවට නොඉපදෙනු ඇත. අධික රුධිර සීනි මට්ටම නිසා අම්මා මිය යන්නට වසර 2 කට පමණ කලින් දෑසම අන්ධ වූවා මට මතකය. වයස 4 දී පටන් ගෙදර බඩු මුට්ටු ඒ ඒ තැන් වල පිළිවෙලට තැබීමේ පුරුද්ද මට ඇති වුනේ දෑස අන්ධ වූ අම්මා තම මතකයෙන් බිත්ති අල්ලමින් ගොස් තමන්ට ඇවැසි දේ ගන්නට පුරුදුව සිටි නිසාය. බංකුවක වාඩි වී දකුණු කකුලෙන් කුස්සි පිහියේ මිට පොළොවට පා ගා ගෙන, ඇස් දෙක කෙලින් අතට බලාගෙන අළු කෙසෙල් ගෙඩියේ පොතු ලිව්වේත්, වැටකොළු කරළේ දාර ලිවුවේත් කෙසේදැයි අදටත් මට හිතා ගන්නට බැරිය.

එහෙත් ඇය අප දෙදෙනා වෙනුවෙන් ඉව්වාය. කාලය ගෙවී ගොස් ඇයට අසාධ්‍යව මහවැව කිරිඅම්මාගේ නිවසින් ( අම්මාගේ මහ ගෙදර) හලාවත රෝහලට රැගෙන යන්නට සූදානම්ව ඉස්තෝප්පුවේ ඇදි පුටුවක වාඩි කරවා සිටි අම්මා දෑතම ඉදිරියට දිගු කොට ” කෝ .. මගෙ කොළු පැටවු දෙන්නා..” යැයි කියද්දී මාත්, අයියාත් ඇය වෙත යන්නට හදද්දී කිරි අම්මා අප දෙදෙනාව අතින් ඇද නවතා ඇය අසලට යන්නට නොදී රදවා ගත් සැටිත්, ඒ සැනින් තාත්තා කිරි අම්මාගෙන් අප දෙදෙනාව උදුරාගෙන අම්මාගේ දෑත් මැද්දට යැවූ සැටිත්, අම්මා දෑතින්ම අප දෙදෙනාව බදාගෙන ඔඩොක්කුවේ තබා තුරුළු කරගෙන සිප ගත් සැටිත් මට අද මෙන් මතකය.

ඒ දෑසම නොපෙනුනු අම්මා අප දෙදෙනා තුරුළු කර ගත් අවසන් මොහොත යැයි අපට දැනුනේ තවත් අවුරුදු ගණනාවක් අප ලොකු මහත් වූවාට පසුවය. ඇයට යන්තම් වයස 36 ලබද්දීම මගේ අම්මා යන්නම ගියාය. ඇගේ දෑතින් දරුවන් සිය ගණනක් මෙලොට බිහි කර ඇති බවත්, හරහර හිරවී අම්මාත්, දරුවාත් මිය යන්නට ඔන්න මෙන්න තිබූ දරු උපත් රැසත් අම්මාගේ දෑතේ දක්ෂ කමින් නිරුපද්‍රිතව සිදු කළ ඇය අම්මලා හා දරුවන් විශාල පිරිසකයේ ජීවිත බේරා ගෙන ඇති බවත් මම දනිමි.

එබැවින් ඇය යහපත් භවයක් ලබා සිටිය හැකිය. දෙව් ලොවක සිට තවමත් මා දෙස බලා සිටිනවා ද විය හැක. ” අනේ මගේ පොඩි පුතා … මං ජීවිතය එපා කියලා පරිස්සං කර ගත්තු පොඩි එකා … අද රටක්.. ලොවක් දන්නා ලොකු මිහිහෙක් වෙලා… ” යැයි සතුටු වනු ඇත. මගේ අම්මේ … ඉපිද ඉපිද යන මේ සසර ගමනින් අපි අයින් වෙමු අම්මේ.. නිවන දුර නැතුව ඇති .. ආයෙත් හමුවෙලා .. අම්මා මට කළ හැම දේකටම මගෙනුත් යමක් කර දෙන්නට මට ඉඩ දෙන්න අම්මේ .. අපි එක දවසක.. එකම තැනක නිවෙමු..”