කොරෝනා වෛරසය : පළමු ජීවිතාරක්ෂක ඖෂධය ‘dexamethasone’ ගැන කරුණු 8ක්

කොරෝනා වෛරසය : පළමු ජීවිතාරක්ෂක ඖෂධය ‘dexamethasone’ ගැන කරුණු 8ක්
Spread the love

කොරෝනා වෛරසයට ගොදුරු වී බරපතළ ලෙස රෝගාතුර වූ රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට උපකාරී වන බවට තහවුරු වූ dexamethasone නැමැති ප්‍රති ප්‍රදාහ ඖෂධය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ.

එක්සත් රාජධානියේ වෛද්‍ය විශේෂඥයින්ගේ සමීක්ෂණවලින් තහවුරු වූයේ මෙම ඖෂධය අඩු මාත්‍රාවකින් ලබාදීම මගින් කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමේ හැකියාවක් සිරුර තුළ වර්ධනය වන බව ය.

මෙම ඖෂධය කුමක්ද?

ඩෙක්සමෙතසෝන් (dexamethasone) යනු ස්ටෙරොයිඩ (steroid) ගණයට අයත් ඖෂධයකි.

ශරීරය තුළ ප්‍රදාහයක් (inflammation) වේ නම් ඊට එරෙහිව සිරුර තුළ වර්ධනය වන ප්‍රති ප්‍රදාහ හෝමෝනයක් ලෙස මෙම ඖෂධය ක්‍රියාකරමින් එම ප්‍රදාහය සමනය කරයි.

එය ක්‍රියාකාරී වන්නේ කෙසේද?

කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමට උත්සාහ කිරීමේදී ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධික වේගයෙන් ක්‍රියාත්මක වන විට සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට මෙම ඖෂධය උපකාරී වේ.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධික ලෙස ප්‍රතික්‍රියා දැක්වීම මාරාන්තික විය හැකිය.

මෙම ඖෂධය මගින් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධික ලෙස ක්‍රියා කිරීම වළක්වයි.

නමුත් මෙම ඖෂධය සුදුසු වන්නේ අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව සිටින පුද්ගලයන් සඳහා පමණක් බව සිහි තබා ගත යුතුය.

බරපතළ නොවන රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් සඳහා මෙම ඖෂධය ලබා දීමෙන් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ කිරීම සුදුසු නොවේ. එසේ වුවහොත් වයිරසයට එරෙහිව සටන් කිරීමේ හැකියාව අහිමි වේ.

මෙය බලසම්පන්න ඖෂධයක් ද?

ස්වසන ආධාරකයක් ලෙස ventilator යන්ත්‍ර භාවිතා කළ රෝගීන්ට මෙම ඖෂධය ලබා දුන්නේ නම්, එම තත්ත්වයේ සිට මරණයට පත්වූ සෑම තිදෙනෙකුගෙන් ම එක් අයෙකුගේ ජීවිතය බේරා ගැනීමට හැකිව තිබූ බව මෙම පරීක්ෂණය දියත් කළ විද්‍යාඥයෝ පවසති.

එමෙන්ම ඔක්සිජන් ලබා දෙමින් සිටියදී මරණයට පත්වූ පස්දෙනෙකුගෙන් එක් අයකුගේ ජීවිතය බේරා ගැනීමට හැකිව තිබූ බව ද ඔවුහු පවසති.

නමුත් ශ්වසනය සඳහා බාහිර ආධාරකයක් නොලබන රෝගීන්ට මෙම ඖෂධය ලබා දීමෙන් සැලකිය යුතු වාසියක් අත් වූ බව තහවුරු වී නැත.

Dexamethasone

අත්හදා බැලුවේ කෙසේද?

ඉහත කී ප්‍රතිඵල නිකුත් වූයේ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් මෙහෙයවනු ලැබූ සමීක්ෂණයකින් අනතුරුව ය.

මෙහිදි අත්හදා බලන ලද්දේ වෙනත් රෝග තත්ත්වයන් සඳහා නිෂ්පාදනය කර ඇති ඖෂධ වර්ග භාවිතා කිරීමෙන් covid 19 රෝගය සුව කළ හැකිද යන්නයි.

මෙහිදී කොවිඩ් 19 රෝගීන් 2100කට පමණ dexamethasone මිලි ග්‍රෑම් 6 බැගින් දින දහයක් පුරා ලබාද තිබේ.

මෙම රෝගීන්ගේ ප්‍රගතිය ඉහත කී ඖෂධය ලබා නොදුන් රෝගීන් 4,300ක් සමග සංසන්දනය කර ඇත.

ඉන් පෙනී ගිය කරුණු අනුව විද්‍යාඥයින් විශ්වාස කරන්නේ කොවිඩ් 19 රෝගීන් සඳහා ලබාදුන් වෙනත් ඖෂධ සමග මෙම ඖෂධය ද ලබා දුන්නේ නම්, සිදු වූ මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකියාවක් තිබුණු බවය.

ගැබිණි මව්වරුන්ට සහ මව් කිරි ලබාදෙන කාන්තාවන්ට හැර අනෙකුත් වැඩිහිටි අසාධ්‍ය රෝගීන් සඳහා මෙම ඖෂධය මේ වන විට බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරු නිර්දේශ කරති.

මෙම ඖෂධය වෙළඳපොලේ පවතීද?

dexamethasone යනු අඩු මිලක් සහිත ඖෂධයක් වන අතර වෙළඳ පොළට සැපයීම ද හොඳ මට්ටමක පවතී.

රෝගීන් ලක්ෂ දෙකකට පමණ ලබාදීමට ප්‍රමාණවත් වන ඖෂධ තොගයක් රටේ පවතින බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවසයි.

1957 දී මුල් වරට නිෂ්පාදනය කෙරුණු මෙම ඖෂධය මේ වන විට ලොව අනෙකුත් රටවලද සුලබව පවතී.

ගෝලීය ප්‍රතිචාරය කෙසේද?

බරපතළ නොවන රෝග ලක්ෂණ සහිත රෝගීන් සඳහා ද තවත් ප්‍රතිකාර විධි ක්‍රම අවශ්‍ය බව පවසමින් ඉහත කී සමීක්ෂණයේ ප්‍රතිඵල ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගනු ලැබ ඇත.

මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට යහපත් ප්‍රවෘත්තියකි.

Dexamethasone

උදාහරණයක් ලෙස දක්වතොත් බොහෝ අප්‍රිකානු රටවල ෙම ඖෂධ පෙත්තක් ඩොලර් දෙකකට පමණ මිලදී ගත හැක.

ඔක්සිජන් ලබා දෙන හෝ ventilator යන්ත්‍ර භාවිතා කරන රෝගීන් සඳහා මෙම ඖෂධය ලබා දෙන ලෙස දැනටමත් දකුණු අප්‍රිකානු රජය උපදෙස් දී ඇත.

හානිකර අතුරු ඵල තිබේද?

වෙනත් රෝගී තත්ත්වයන් සඳහා dexamethasone ඖෂධය ලබා දීමේදී ඇතිවිය හැකි සාමාන්‍ය අතුරු ආබාධ අතර සාංකාව, නින්දට යාමේ අපහසුතාව, ස්ථුලභාවය සහ සිරුර තුළ දියර එක්රැස්වීම යන තත්ත්වයන් පවතී.

ඉතාම කලාතුරකින් ඇතිවිය හැකියි අතුරු ආබාධයන් ලෙස අක්ෂි ආබාධ, පෙනීමේ දුර්වලතා සහ රක්තපාතය සඳහන් කර තිබේ.

නමුත්ට කොරෝනා වෛරසයට ගොදුරු වූවන් සඳහා ලබා දෙන්නේ ඉතා අඩු මාත්‍රාවක් බැවින් ඉන් ඇතිවිය හැකි හානිකර අතුරු ඵල සීමාසහිතය.

වෙනත් ප්‍රති ප්‍රදාහ (anti-inflammatory) ඖෂධ වර්ග භාවිතා කළ හැකි ද?

dexamethasone පිළිබඳව ඉහත කී සමීක්ෂණය සිදු කළ විද්‍යාඥ කණ්ඩායමේ ප්‍රධානියා වන මහාචාර්ය පීටර් හෝබී කියා සිටියේ covid 19 වැනි, වෛරස් මගින් ඇතිවන ස්වසන ආසාදන සඳහා ස්ටෙරොයිඩ භාවිතා කිරීම විවාදයට තුඩු දී ඇති බව ය.

සාර්ස් වසංගතය ඇති වූ අවධියේ දී එවැනි ඖෂධ භාවිත කිරීමෙන් ලැබී ඇත්තේ මිශ්‍ර ප්‍රතිඵලය.

Methylprednisolone වැනි වෙනත් ස්ටෙරොයිඩ වර්ගද කොරෝනා වෛරස ආසාදිතයන් මත අත්හදා බැලෙමින් පවතින අතර මූලික වටයේදී බලාපොරොත්තු තැබිය හැකි ප්‍රතිඵල ලබා දී ඇත.

Text by – bbc sandesaya