ලිට්‌ට්‍රො ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක් අවභාවිත කිරීම ඇතුළු අධිචෝදනා 24 ක් යටතේ හිටපු ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ සාක්‌ෂි විභාගය ලබන ඔක්‌තෝබර් 29 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට ස්‌ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (19) නියෝග කළේය.
එම නඩුවේ පැමිණිල්ලේ සාක්‌ෂිකරුවන් ලෙස නම් කොට ඇති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්‌ස, නීතිඥ රුවිනි ධර්මවර්ධන ඇතුළු සිවුදෙනකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යෑවීමට ද සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න හා චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරුවරු විශේෂ මහාධිකරණ ලේඛකාධිකාරී උපුල් නන්දන මහතාට නියෝග කළහ.
එම නඩුවේ පැමිණිල්ලේ සාක්‌ෂි ලෙස ඉදිරිපත් කොට ඇති ලේඛන සම්බන්ධයෙන් විත්තිය යම් පිළිගැනීමක් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කිරීම සඳහා එම නඩුව ලබන 28 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඩුල්ල එහිදී නියෝග කළේය.
2014.02.01 හා 2015.01.20 කාලය අතරතුරදී කොළඹදී පැමිණිල්ල නොදත් අන් අය සමඟ ලිට්‌ට්‍රොa ගෑස් සමාගම විසින් කැන්වීල් හෝල්ඩින්ග් සමාගම වෙත යවන ලද රුපියල් මිලියන 500 ක මුදලක් වංක ලෙස හෙලැන්කෝ හොටෙල්ස් ඇන්ඩ් සපා පුද්ගලික සමාගමට බැර කිරීම, සාපරාධී විශ්වාසය කඩකිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු මුදල් විශුද්ධිකරණය වැළැක්‌වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදු කර ඇතැයි අධිචෝදනා නඟමින් නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි.
ගාමිණී සේදර සෙනරත්, පියදාස කුඩාබාලගේ, නීල් බණ්‌ඩාර හපුහින්න හා ලියනගේ ලසන්ත බණ්‌ඩාර යන සිවුදෙනාට එරෙහිව පවරා ඇති එම නඩුවෙන් නීතිපතිවරයා ගොනු කර ඇති අධිචෝදනා සනාථ කිරීමට පැමිණිල්ල වෙනුවෙන් සාක්‌ෂිකරුවන් 63 දෙනකු හා නඩු භාණ්‌ඩ (ලේඛන) 92 ක් නම් කර ඇත.
නීතිඥ චමින්ද අතුකෝරළ, නලින්ද ඉන්ද්‍රතිස්‌ස, සෞම්‍යා මුතුකුඩ, නිරොෂන් සිරිවර්ධන, නවීන් මාරපන ඇතුළු නීතිඥ මණ්‌ඩලයක් සමඟ ජනාධිපති නීතිඥවරුන් වන ගාමිණී මාරපන, අනිල් සිල්වා, අලි සබ්රි යන මහත්වරුන් විත්තිය නියෝජනය කළ අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.