ගාස්තු වැඩි නොකළොත් දීප ව්‍යාප්ත වර්ජනයක්

ගාස්තු වැඩි නොකළොත් දීප ව්‍යාප්ත වර්ජනයක්
Spread the love

සමස්ත බස් ගාස්තුව සියයට දහයකින් ඉහළ දැමීමට රජය නොදුනහොත් එළැඹෙන 24 දා මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ බස්වර්ජනයක් දිවයින පුරා ක්‍රියාත්මකකරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා ඊයේ (17) පැවැසීය.

රජය විසින් ඉහළ දමනු ලැබූ ඉන්ධන මිල සම්බන්ධයෙන් පෞද්ගලික බස් හිමියන්ගේ ස්ථාවරය පැහැදිළි කිරීම සඳහා කොළඹ නාරහේන්පිට කාන්තා පර්යේෂණ කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා එම අදහස් පැවැසීය.

වත්මන් රජය පෞද්ගලික බස් කර්මාන්තය පිළිබඳව සැලකිල්ලක් දැක්වන්නැහැ. මෙහෙම හිතුණු හිතුණු විදිහට ඉන්ධන මිල ඉහළ දැමීමට රජයකට බැහැ. ඉන්ධන මිල ඉහළ යන විට රටේ සමස්ත භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනවා. ඒ නිසා බස් ගාස්තුව වැඩිකිරීමටද රජය ඉඩදිය යුතු බව ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා පැවැසීය.

රජය බස්ගාස්තු වැඩිවීමකට ඉඩනොදුනහොත් සමස්ත බස් හිමියන්වම ඒකරාශීකරගෙන සියයට 10ක බස් ගාස්තු වැඩිවීමක් 25දායින් පසුව ක්‍රියාත්මක කරන බවත් එහිදී ආණ්ඩුවට හැකිනම් බස්හිමියන්ගේ මාර්ග බලපත්‍ර අවලංගු කර පෙන්වන ලෙසද ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා රජයට අභියෝගයක් එල්ල කළේය.

රජය විසින් මේ වන විට ඩීසල් මිල අවස්ථා දෙකකදී රුපියල් 14ක් වැඩිකර ඇති බවත් ඒ නිසා බස් රථ හිමියන්ට කිසිදු ගැටලුවකින් තොරව ගාස්තු වැඩිවීමකට යා හැකි බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවැසීය.

මෙම බස්ගාස්තු වැඩිවීමේදී දැනට රුපියල් 12ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 15ක් දක්වා වැඩිකළ යුතු බවද හෙතෙම කීවේය.
ඇස් නොපෙනෙන කන් නොඇසෙන ආණ්ඩුවේ ඇමැතිවරුන්ට 25දාට ඇස් පෙනෙන, කන් ඇසෙන වර්ජනයක් දිවයිනපුරා ක්‍රියාත්මක කරන බව ඒ මහතා පැවැසීය.
වර්තමාන ආණ්ඩුව විසින් බැඳුම්කර මගඩිය සිදුකර එයින් සිදුවූ අලාභය වසාගැණීමට ඉන්ධන මිල මාසයකට වතාවක් වැඩිකරන බවත් ආණ්ඩුව ජනතාවගේ යහපත ගැන සිනතවානම් බස් හිමියන් වෙත ඉන්ධන සහනාධාරයක් ලබාදී මෙම ගැටලුව විසඳිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති සම්පත් රණසිංහ මහතා පැවැසීය.

ඉන්ධන මිල ඉහළ දැමීම නිසා කෙටි දුර ධාවන බස් රථ දිනකට රුපියල් 1200ක් පමණ සහ දුර ගමන් සේවා බස් රථ දිනකට රුපියල් 1800ක් පමණ පාඩු ලබන බවද ඔහු පැවැසීය.

බස් හිමියන් විසින් ක්‍රියාත්මක කරන මෙම වර්ජනය සඳහා බස් රථ සේවක සංගම්ද සහය ලබාදෙන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයේ සභාපති යූ.කේ. කුමාර රත්න මහතා මෙහිදී පැවැසීය.