පවුල් සැලසුම් ක‍්‍රම ගැන අපි පසුගිය ලිපිවලින් කතා කළා. මෙවර අපි අවධානය යොමු කරන්නේ ගැබ් ගැනීමට පෙර කාන්තාවක විසින් අවධානය යොමු කළ වැදගත්ම කරුණු ගැනයි. අපි මෙම ලිපි පෙළ සම්පාදනය කළේ ‘පවුල් සැලසුම් සංගමයේ නිල අන්තර්ජාල අඩවිය ඇසුරිණි. එනිසා මේ කරුණු වඩාත්ම විද්‍යාත්මක හා ප‍්‍රායෝගික ඒවා වනවා.
විවාහ වූ යුවලක්, ගැබ් ගැනීමට පෙර කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය හා ගර්භනීභාවයට පත්වීම සදහා ශාරීරික යෝග්‍යතාවය මැන බැලීම අවශ්‍ය වේ.
එමගින්,
- පිළිසිද ගැනීම හා ගර්භනීභාවය සම්බන්ධ සෞඛ්‍ය කරුණු අවබෝධ කර ගැනීමට හැකිවේ.
- කාන්තාව හා ඇගේ සහකරුට ක්‍රියාශීලිව හා නිරෝගිමත් ලෙස ගර්භනීභාවයට සුදානම් වීමට අවස්ථාව සැලසේ. පෙර සැගවී පැවති, ගර්භනීභාවයේ අමතර වෙහෙස නිසා හෙලිදරව් වන, සෞඛ්‍ය සම්පන්න ගර්භනීභාවයකට බලපාන කරුණු (උදා. උපතේදීම ඇතිවන හෘදයේ අක්‍රමිකතා, රුධිර ග්ලූකෝස් මට්ටම වැඩිවීම ආදිය) කල්තියා හදුනා ගැනීමේ අවස්ථාව සැලසේ.
පිළිසිද ගැනීමට පෙර සලකා බැලිය යුතු වැදගත් කරුණු මොනවාද?
ආහාර වේල
සාමාන්‍ය ආහාර වේලක් ගන්නා නිරෝගි කාන්තාවක් පළතුරු, කොළ ආහාර හා කිරි වැඩි වශයෙන් ගැනීමෙන් ශරීරයේ ඛනිජ ලවන යකඩ හා කැල්සියම් ප්‍රමාණය ඉහල නංවා ගැනීමට හැකිවේ.
ශරීරයේ බර නියමිත ප්‍රමාණයට වඩා වැඩි හෝ අඩු කාන්තාවන්ට දරුවකු පිළිසිද ගැනීම අපහසු වන අතරම, ඔවුන් ගර්භනී සමයේ විවිධ සංකූලතාවයන්ට ද මුහුණ දෙයි. මෙවැනි කාන්තාවන් පෝෂණවේදියකු හමු වී උපදෙස් ලබාගැනීම සුදුසුය. විවිධ දේශීය පාන වර්ග හා තේ වර්ග ගර්භනී සමය තුළ භාවිත කිරීම අවදානම් සහිත බැවින් ඒවා භාවිතය අවම කල යුතුය. එවැනි දේ ගර්භනී සමය තුළ භාවිත කිරීමේ ආරක්ෂාකාරී බව පර්යේෂණ මගින් සනාථ කර නොමැත.
ෆෝලික් අම්ලය
ගර්භනී මවකට දිනකට අවශ්‍ය ෆෝලික් අම්ල ප්‍රමාණය මයික්‍රො ග්රෑම් 400කි. ආහාර මගින් පමණක් මෙම අවශ්‍යතාවය සම්පුර්ණ කරගත නොහැක. මේ නිසා අතිරේකව සිරුරට ෆෝලික් අම්ලය ලබාගැනීම වැදගත්ය. මෙය අවම වශයෙන් පිළිසිද ගැනීමට මසකට පෙරවත් ආරම්භ කළ යුතුය. සෑම ඖෂධහලකින් ම බෙහෙත් තුන්ඩුවක් නොමැතිව, ඉතා අඩු මිලට ලබාගත හැකි ෆෝලික් අම්ල පෙති එක බැගින් දිනපතා ගැනීමෙන් මේ අවශ්‍යතාවය සම්පුර්ණ කරගත හැක.
පිළිසිද ගැනීමට පෙර ෆෝලික් අම්ලය භාවිතය ආරම්භ කිරීම ඉතා වැදගත්ය. ෆෝලික් අම්ලය, දරුවාගේ ස්නායු පද්ධතියේ නිසි වර්ධනයට හා විකසනයට අත්‍යවශ්‍ය වේ. දරුවාගේ ස්නායු පද්ධතියේ විකසනය, ගර්භනී සමයේ ඉතා මුල් අවදියේදී සිදුවන අතර ඔබ ගර්භනීබව දැනගැනීමට ද පෙර මෙය සිදුවේ. එයින් පසු ෆෝලික් අම්ලය භාවිතය ඇරඹීමෙන් බලාපොරොත්තු වන යහපත් ප්‍රතිඵල අත් කර ගත නොහැකි වනු ඇත.
ව්‍යායාම
නිතර ක්‍රමානුකූලව ව්‍යායාමයෙහි නිරත වන කාන්තාවන්ට, එය තව දුරටත් කරගෙන යාමට උපදෙස් දිය යුතුය. එලෙස සිදු නොකරන කාන්තාවන්ට ක්‍රමවත්ව ව්‍යයාම කිරීමට අනුබල හා උපදෙස් ලබාදිය යුතුය. කෙසේවෙතත් ගර්භනී සමයේ මුල් මාස තුනේ දී අධික වෙහෙස වී ව්‍යායාම කිරීම අනුමත නොකෙරේ.
දුම් පානය
ගර්භනී සමයේ දුම්පානය කිරීම හා දුම් පානය කරන්නෙකු අසල සිටීම (අක්‍රිය දුම් පානය) ගබ්සාවීම් හා මල දරු උපත් ඇතුළු සංකූලතා රැසකට මග පාදයි.
මත්පැන් භාවිතය
ගර්භනී සමයේ අධික ලෙස මත්පැන් භාවිතය දරුවාගේ වර්ධනය අඩාලවීම, මන්දබුද්ධිකතාවය, දරුවාගේ මුහුනේ ඇතිවන විවිධ විකෘති හා හැසිරීමේ වෙනස්කම් ඇතුළු රෝග ලක්ෂණ රැසකින් යුතු foetal alcohol syndrome නම් තත්ත්වය ඇති කරයි.
ඖෂධ භාවිතය
ඖෂධ හලකින් බෙහෙත් තුන්ඩුවක් නොමැතිව ලබාගත හැකි ඖෂධ හා ආයුර්වේද ඖෂධ ඇතුලු සියලු ඖෂධ වර්ග භාවිතය අවම කිරීම හොද පුරුද්දකි. වෛද්‍ය උපදෙස් මත පමනක් ගර්භනී සමයේදී ඖෂධ ලබා ගන්න.
කලක් තිස්සේ පවතින රෝග
දියවැඩියාව – ගර්භනී සමයේ දී රුධිරගත සීනී මට්ටම ඉතා හොදින් පාලනය වී පවතින බවට රෝගීන් වගබලා ගත යුතුය. රුධිරයේ සීනී මට්ටම පාලනය කිරීමට පෙති වර්ග භාවිත කරන රෝගීන් ඒ සදහා ඉන්සියුලින් එන්නත් භාවිතය ඇරඹිය යුතුය.
අධි රුධිර පීඩනය – අධි රුධිර පීඩනය පාලනය කිරීමට යොදා ගන්නා ඇතැම් ඖෂධ ගර්භනී මවකට නුසුදුසු විය හැක. එම නිසා විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාගෙන වඩා ආරක්ෂාකාරී ඖෂධවලට මාරුවීම අවශ්‍යය
අපස්මාරය – අපස්මාරය සදහා භාවිත වන බොහෝමයක් ඖෂධ ගර්භනී සමයේ දී භාවිතයෙන් භ්‍රෑණයට විවිධ සංකුලතා ඇති කරන නමුත් අත්‍යවශ්‍යය. ඵයට හේතුව ඵම කාලය තුල රෝගය උත්සන්න වුවහොත් ඵමගින් භ්‍රෑණයට විය හැකි හානිය වඩා බරපතල වීමයි. එක් ඖෂධයක් පමණක් යොදා ගැනීමෙන් මෙම අවදානම අවම කරගත හැකිය. මේ නිසා විශේෂඥ වෛද්‍යයවරයෙකු හමු වී අපස්මාර රෝගය හොදින් පාලනය කිරීමට සමත්, දරුවාට අවම බලපෑමක් ඇති කරන ඖෂධයකට මාරුවීම වැදගත්ය.
විවිධ ආසාදන
රුබෙල්ලා – ගර්භනී සමයේ පළමු සති 8-10ත් අතර කාලයේ ඇතිවන රුබෙල්ලා ආසාදනයන් නිසා 90% අවස්ථාවලදී දරුවාට හානි පැමිනේ. මන්දබුද්ධිකභාවය, ඇසේ සුද ඇතිවීම, බිහිරිවීම, හෘදය වස්තුවේ සිදුරු හා වෙනත් ආබාධ, ගර්භනී සමයේ දී දරුවාගේ වර්ධනය අඩාලවීම ආදිය මින් ඇතිවන සමහර සංකූලතා වේ. මේ තත්ත්වය වැලැක්වීම සදහා පාසල් යන අවධියේ දී සියලුම ගැහැණු ළමයින්ට රුබෙල්ලා එන්නත ලබාදීම සිදුකෙරේ. ඔබ ගැබ් ගැනීමට අපේක්ෂාවෙන් සිටින, එහෙත් තවමත් රුබෙල්ලා එන්නත ලබාගෙන නොමැති කාන්තාවක් නම්, ගැබ් ගැනීමට මාස 3කටවත් පෙර මෙම එන්නත ලබාගන්න.
පැපොල රෝගය – ගර්භනී සමයේ පළමු සති 20 තුලදී පැපොල රෝගය වැළදීම Congenital varicella syndrome නම් තත්ත්වය දරුවා තුළ ඇති කරයි. දරුවාගේ අත පය ප්‍රමාණයට වඩා කුඩා වීම, හිසෙහි වර්ධනය අඩාල වී කුඩා හිසක් ඇති වීම, ඇසේ සුද ඇති වීම, වර්ධනය අඩාල වීම, සමේ කැළැල් ඇති වීම මෙහිදී දක්නට ලැබෙන රෝග ලක්ෂණ සමහරකි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් පැපොල රෝගයේ ප්‍රතිදේහ ශරීරයේ නොමැති පුද්ගලයන් ( රෝගය වැලදී නැති පුද්ගලයන්) හට එන්න්ත ලබාදීම නිර්දේශ කර ඇත. නමුත් මෙම එන්නත ගර්භනී මාතාවන් විසින් ලබා නොගත යුතු අතර, එන්නත ලබා ගැනීමෙන් මාස 3ක් යනතෙක් ගැබ් ගැනීමෙන් වැලකිය යුතුය.
මවගේ වයස හා සම්බන්ධ අවදානම් තත්ත්ව
මව්වරුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් කිසිදු සංකූලතාවයකින් හෝ බාධාවකින් තොරව දරුවන් බිහි කරන බව සදහන් කිරීම වැදගත්ය. කෙසේ වුවද මවගේ වයස වැඩිවත්ම ඔවුන්ට විකෘති සහිත දරුවන් ඉපදීමේ ඉඩකඩ වැඩි වේ. එලෙසම මවගේ වයසත් සමග ගබ්සා වීම, නිවුන් දරු උපත්, ගර්භාෂයේ ගෙඩි, අධි රුධිර පීඩනය හා ගර්භනීකල ඇතිවන දියවැඩියා තත්ත්ව ඇතිවීමේ අවදානම වැඩි වේ.