ගෙවියන ජීවිතය ගැන කියවීමක් – මග නොහැර කියවලම බලන්න

Spread the love

වර්තමානයේ සෑම කෙනෙක්ම උත්සාහ දරමින් සිටින්නේ තමන්ගේ ජීවිතය වෙනස්කර ගැනීමටය. එකී වෙනස තුළින් අප බලාපොරොත්තු වනුයේ මේ මොහොතේ ජීවත්වනවාට වඩා ආර්ථික, සමාජයීය, අධ්‍යාපනික, සංස්කෘතික හා දේශපාලනික වශයෙන් ගුණාත්මක වර්ධනයක් ළඟා කර ගැනීමටය. එනම්, මෝටර් බයිසිකලයෙන් ගමන් ගන්නා පුද්ගලයා මෝටර් රථයක් මිලට ගැනීමට උත්සාහ කිරීමත්, කුලී නිවැසියෙක් තමාටම කියා නිවසක් තනා ගැනීමට සිහින දැකීමත්, සාමාන්‍ය රැකියාවක නිරතවන තරුණයෙක් විධායක ශ්‍රේණියේ රැකියාවක් ලබා ගැනීමට පොර බැදීමත් වරදක් වශයෙන් කිසිවකුත් අර්ථකථනය නොකරනු ඇත. එවැනි වෙනසකට අපි සියල්ලෝම කැමැත්තෙමු. නමුත් අපේ ජීවිත වෙනස්කර ගැනීමට පෙර ලැබී ඇති ජීවිතය කියවා ගැනීමට අප උත්සාහ කරන්නේ ද යන්න ගැටලුවකි.

‘අප සියලු දෙනාටම අවශ්‍ය වන්නේ සාර්ථකත්වය නමැති ගිරි හිසට ළඟා වීමය. එහෙත් ජීවිතයේ සැබෑ සතුට ළඟා කර ගත හැක්කේ එහි ළඟාවීමෙන් නොව, එතැනට යෑමට අප ගන්නා දුෂ්කර ක්‍රමවේදය හරහාය.’ මාර්කේස් වරක් එසේ කීවේය. ජීවිතයේ අප මුහුණ දෙන සෑම අත්දැකීමක්ම එසේම අපට ලැබෙන නොලැබෙන සෑම භෞතික සම්පත් කෙරෙහිම මධ්‍යස්ථව කටයුතු කිරීමට හැකි නම් අපි ජීවිතය කියවා ගැනීමට සමත් අය වෙමු. මේ කතාව ජීවිතය වෙනස්කර ගැනීමට පෙර එය කියවා ගැනීමට වෙහෙසෙන ඔබ වෙනුවෙනි.

එක්තරා පිටිසරබද පළාතක ගොවිතැන සහ සතුන් ඇති කිරීම ජීවනෝපාය කරගත් පුද්ගලයෙක් වාසය කළේය. ඔහු තම ගොවිපොළ වෙත ගි‍ෙය් අසු පිටින්ය. සෑම දිනකම අසු පිටින් ගොවිපොළ වෙත යන මේ පුද්ගලයා අශ්වයාට කෑම සහ වතුර දී තම කටයුතුවල නිරත වේ. දිනක් මේ අශ්වයා ගොවිපොළෙන් ඈතට වන්නට තිබූ කැලෑව වෙත පලා ගියේය. අශ්වයා සෙවීමට එතරම් උත්සහයක් නොගත් මේ පුද්ගලයා ගොවිපොළෙහි වැඩ කටයුතු අවසන් වූ පසු පයින්ම තම නිවස කරා ගමන් කළේය. මේ පුද්ගලයාගේ අශ්වයා කැලෑවට පලා ගිය බව දැනගත් අසල්වාසීන් මොහුට දෝෂාරෝපණය කරන්නට විය.

‘අපරාදේ හොඳ අශ්වයා. මේ කාලකණ්ණි මනුස්සයට ඌව ආරක්ෂා කරන්න බැරි වුණානේ…’

අසල්වාසීන්ගේ එවැනි කතා ගණන් නොගත් ඔහු මෙසේ පවසා සිටියේය.

‘ඕක හොඳකට වුණා ද? නරකට වුණා ද? කවුද දන්නේ …’

අශ්වයා නොමැතිවීම, තම වැඩ කටයුතුවලට බාධාවක් නොකරගත් ඔහු සෑම දිනකම පයින්ම ගොවිපොළ වෙත ගියේය. හැකි පමණින් වැඩ කළේය.

ටික දිනකට පසු කැලෑ වැදුණු අශ්වයා තවත් වල් අශ්වයෝ රෑනක් සමඟ ගොවිපළට පැමිණියහ. මේ බව දැනගත් ගම්වාසීහු මේ පුද්ගලයාගේ වාසනාව පිළිබඳ තැන තැන කතා කරන්නට වූහ.

‘ මිනිහ කොහොම වුණත් වාසනාවන්තයා. හිටියේ එක අශ්වයයි. දැන් අශ්වයෝ කී දෙනෙක් ද? …’

අසල්වාසීන්ගේ සුබ පැතුම් හමුවේ මේ පුද්ගලයා කියා සිටියේ පෙර කී කතාවමය.

“ඕක හොඳකට වුණා ද? නරකට වුණා ද? කවුද දන්නේ…”

මේ අතර වල් අශ්වයකු පිට යෑමට උත්සාහ කළ ගොවිපොළ හිමිකරුගේ එකම පුතා ඌ පිටින් වැටී කකුලක් කඩා ගත්තේය. මේ බැව් දැන ගත් අහළ පහළ මිනිසුන් මේ පුද්ගලයාට එළිපිටම බැණ වැදුණේය.

‘තිබ්බ තණ්හාවට වල් අශ්වයෝ ටික කැලෑවට පන්නන් නැතිව ගේ අස්සේ දාගෙන හිටියා. අපරාදේ අර තරුණ කොල්ලා අබ්බගාතයෙක් වුණා මහ මිනිහගෙ වැරදි නිසා …’

තමන්ට බැණ වදින පුද්ගලයන්ට සුපුරුදු පරිදි මේ පුද්ගලයා ‘ ඕක හොඳකට වුණා ද? නරකට වුණා ද? කවුද දන්නේ …’ යැයි කියා සිටියේය.

මේ වකවානුවේදී රටට විශාල සතුරු කරදරයක් එල්ල වී මහා යුද්ධයකට සූදානම් වීමට අබාධයකින් තොරව ගම්වල සිටින සියලු තරුණයන් හමුදාවට බඳවා ගැනීමේ වැඩ පිළිවෙළක් ආරම්භ වී තිබුණි. එම පළාතට ද පැමිණි නිලධාරිහු ප්‍රදේශයේ ආබාධ රහිත සියලු තරුණයන් රැගෙන ගියහ. පළාතටම තරුණයෙක් ලෙස ඉතිරි වුයේ කතානායකයාගේ පුතා පමණි.

‘අනේ! ඒ මනුස්සය නම් කොච්චර වාසනාවන්ත ද? අපේ දරුවෝ යුද්දෙට බිලිවෙයි ද දන්නෑ…’ ගම්හු කතානායකයාගේ වාසනා මහිමය ගැන කතා කරන්නට වූහ.

‘ඕක හොඳකට වුණා ද? නරකට වුණාද? කවුද දන්නේ…’ යැයි සුපුරුදු පරිදි මඳ සිනහවක් මුවඟට නඟා ගත් අප කතානායකයා පැවසීය.

අපි සියල්ලෝම සිහින දකිමින් සිටිමු. ඒ සිහින සැබෑ කර ගැනීමට ජීවිතය සමඟ පොර බදිමු. හැල්මේ දුවමු. අධ්‍යාපනයෙන් ද, රැකියාවෙන් ද, ගෘහ ජීවිතයෙන් ද අපි හති වැටී සිටිමු. ගතකරමින් සිටින අතෘප්තිමත් ජීවිතය වෙනස් කර ගැනීමට පෙනෙන නොපෙනෙන සෑම දෙයක් පසුපසම හඹා යන්නෙමු. පුද්ගල සංවර්ධන දේශකයන්, ධනාත්මක චින්තකයන් මතු නොව දේවාල ද අප අතරට පැමිණ ඇත්තේ මේ නිසා ය. මේ සියල්ල පසුපස යාමට ප්‍රථම අප මඳකට නතර වී ලැබී ඇති ජීවිතය හැකි පමණින් කියවීමට වෙර දරමු.

[rns_reactions]