කතරගම ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් පිරිසක් එම විද්‍යාලයේම ඉගෙනුම ලබන උසස් පෙළ සිසුවකුට සිදුකළ පහරදීමක් පිළිබදව වාර්තා වෙනවා.
මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ කතරගම ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවෙකි. ගුරුවරුන් පිරිසක් එක්ව වටකර සිදුකළ මෙම පහර දීම නිසා හේතුවෙන් රෝගාතුර වූ සිසුවා පෙරේදා (08දා) රාත්‍රි කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.
ඉකුත් 28 වැනි දින පාසලට පැමිණ ඇති මෙම සිසුවා අවේලාවේ වතුර බීමට ටැප් එක අසලට ගොස් සිටින අවස්ථාවේ විදුහලේ පරිපාලන නියෝජ්‍ය විදුහල්පති හිමියන් පහරදී ඇති බවත් පසුව විදුහලේ තවත් ගුරුවරු පිරිසකුත් එකතුවී මෙම සිසුවා බිම දමාගෙන පහරදී ඇති බවත් වාර්තා වේ.
පහර කෑමට ලක්වූ සිසුවා ඒ පිළිබදව මාධ්‍යයට පැවසූවේ මෙලෙසයි ,
” මම අවේලාවේ වතුර බීමට ටැප් එක අසලට ගියා. ඒ වෙලාවේ එකවරම එම ස්ථානයට පැමිණි විදුහලේ පරිපාලන නියෝජ්‍ය විදුහල්පති හිමියන් මගේ කකුල් අල්ලලා මම පැත්තකට පැන්නම මට ගැහුවා. මම ඇහුවා මොකද හාමුදුරුවනේ කැත වැඩ කරලා ගහන්නේ. නිකන් ගහන්න අයිතියක් නැහැනේ කියලා මම කිව්වා.
ඒ වෙලාවේ හාමුදුරුවන්ට කේන්ති ගිහින් තෝ මන් කවුරු කියලා හිතාගෙනද කතා කරන්නේ කියලා කකුල නවලා දණහිසෙන් මගේ බඩ පැත්තට ගහලා කුණුහරුප කියමින් මගේ අම්මට බැන්නා. නිකරුණේ හාමුදුරුවෝ මට ගහපු නිසා මාත් හාමුදුරුවන්ට පහරක් ගැහුවා. ඒකට කේන්ති ගිය හාමුදුරුවෝ මාව විදුහල්පති මැඩම් ඉන්න කාමරයට අරගෙන ගිහින් අනිත් සර්ලත් එක්ක වට කරගෙන මට විනාඩි 15ක් විතර ගැහුවා. ඒ වෙලාවේ ඒ සර්ලා කිව්වා මැඩම් මූගේ කට වැඩියි මූ ඉස්කෝලෙන් අයින් කරලා දමන්න ඕනේ කිව්වා. මැඩමුත් කිව්වා තෝ ආයේ ඉස්කෝලෙ එන්න එපා කියලා. කොහොම හරි ඉස්කෝලේ ඉවර වෙනකම් මම ප්‍රින්සිපල් රූම් එකේ තියාගෙන ඉඳලා ඉස්කෝලේ අරුණම තමයි මාව යැව්වේ. මම ඉස්කෝලේ ඇරිලා සෙල්ලකතරගම අයියගේ ගෙදර ගියා. අම්මා මාතර රස්සාවක් කරනවා.
තාත්තා අංශභාගේ හැදිලා එකතැන ඉන්නේ. මගේ එක අක්කා කෙනකුත් මීට මාස කිහිපයකට කලින් ගෙල වැලලාගෙන මැරුණා ගෙදර තිබුණු ආර්ථික අපහසුතා නිසා. ඉස්කෝලෙදි වුණ දේ අම්මට මම කිව්වා. පසුව අම්මා කතරගම පොලිසියට ගිහින් මේ ගැන පසුගිය 04 වැනිදා පැමිණිල්ලක් දැම්මා. පහරදීමෙන් දින කිහිපයකට පසු මට ඇවිද ගෙන යන්න බැරි වුණා. කලන්තෙ දමලා වැටෙන්න පටන් ගත්තා. දිනෙන් දින ලෙඩේ වැඩි වෙන්න ගත්තා. පසුව අම්මා පෙරේදා (08දා) රෑ කතරගම රෝහලට මාව එක්ක ගියා. එහිදී මාව පරීක්‍ෂා කරලා රෝහලට ඇතුළත් කළා. වැඩිදුර ප්‍රතිකාර කිරීමට මාව එදා රෑම හම්බන්තොට මහ රෝහලට මාරු කර යැව්වා. මොනව වුණත් මට පාසල් නොගිහින් නම් ඉන්න බෑ.
මං 2019 වසරේ උසස් පෙළ ලියන්න ඉන්නේ ගණිත අංශයෙන්. ඒ නිසා මං ඉල්ලන්නේ මට පාසල් යන්න අවස්ථාව නැති කරන්න එපා කියලයි”
මෙම පහරදීම ඇසින් දුටු විද්‍යාලයේ ගුරුවරයකු මාධ්‍යයට සිදුවීම විස්තර කර තිබුනෙ මෙලෙසින් ,
” මාධ්‍යයට අපිට අපේ නම් ගම් කියන්න විදියක් නෑ. නමුත් කතාව ඇත්ත. මම කැන්ටින් එකේ ඉඳලා ඔෆිස් එක පැත්තට යන කොට මේ ළමයා ඔෆිස් එකේ හිටියා. ඒ වන විටත් ළමයට හොඳටම ගහලා. ඒ මදිවට ගුරුවරු කුණුහරුපෙන් පවා බැන්නා. ළමයකුට එහෙම බැනීම නම් අනුමත කරන්න බෑ. දැන් මේ වන විට මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සියල්ලම යට ගිහින් තියෙන්නේ. අමාත්‍යාංශ මට්ටමින් පරීක්‍ෂණයක් කරනවා නම් අපි ගුරුවරු විදියට මේ සම්බන්ධයෙන් සාක්‍ෂි දෙන්න වුණත් සූදානම්. මේ වන විට විද්‍යාලයේ ළමයි විශාල වශයෙන් අසාධාරණයට ලක්වෙනවා. මේ සම්බන්ධයෙන් කියන්න කෙනෙක් නෑ. මේ සම්බන්ධයෙන් වහා පරීක්‍ෂණයක් කරන්න කියලා වගකිව යුත්තන්ගෙන් ඉල්ලනවා “

