ජනාධිපතිවරයා සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා මහතා විසින් කුමන්ත්‍රණ කළැයි එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පස් දෙනකුගෙන් ඉදිරි දින කීපයේදී ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.
මෙම හෙළිදරව්ව සිදු කළ දූෂණ විරෝධී පෙරමුණේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (17) දෙවැනි වරටත් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය. මේ අතර නාමල් කුමාර මහතා මෙම හෙළිදරව්ව සිදුකළ මාධ්‍ය සාකච්ඡාවට පැමිණ සිටි දූෂණ විරෝධී බළකායේ සාමාජිකයන් ගෙන්ද අද (18) ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.
නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා මහතා කළ බව කියන දුරකථන සංවාදයට අදාළව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පස්‌දෙනකුගේ නම් කියෑවිණි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එම්. ආර්. ලතීµa, බස්‌නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති නන්දන මුණසිංහ, රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයේ නියෝජ්‍ය පොලිස්‌පති නිලන්ත ජයවර්ධන, සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස්, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජනකාන්ත යන මහත්වරුන් සම්බන්ධයෙන් නාලක ද සිල්වා මහතා කළ ප්‍රකාශ පිළිබඳව එම නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.
මේ අතර මෙම දුරකථන සංවාදවලට අදාළ ජංගම දුරකථන වාර්තා සියල්ල ලබාගෙන ඒවා පරීක්‍ෂා කිරීමට ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිති.
දුරකථන සංවාදයට සම්බන්ධ වූ බව කියන නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා මහතාගේ කටහඬ ඒ මහතාගේම හඬ දැයි පරීක්‍ෂා කිරීමට ද පියවර ගෙන ඇති බව පොලිස් මූලස්‌ථානය පවසයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ජීවිත විනාශ කිරීම සඳහා ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා මහතා තමන් සමඟ කුමන්ත්‍රණය කළ බවට දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා පසුගියදා මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.