“තම දෙමාපියන් ගෙදරින් පන්නා දමන දරුවන් සිටින සහෝදර සහෝදරියන් සමඟ ඉඩම් නඩු කියන යුගයක එම සැමට ආදර්ශයක් ලබා දෙමින් පුපුරැස්‌සේ සුබ්‍රම නියම් දෙමළ ජාතික මුදලාලි මහතා ඉඩමක් සසුනට භාරකර විහාරස්‌ථානයක් සංවර්ධනය කර ජාතික සමගිය ඇතිකිරීමෙන් අප සිංහල ජාතියට හොඳ ආදර්ශයක් දී තිබෙනවා” යෑයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක ගෙලිඔය තෙලඹුගල නිග්‍රෝධාචෙත්ත පරිවේණාධිපති පූජ්‍ය ගොඩමුන්නේ පඤ්ඤාකිත්ති නායක හිමියෝ පුපුරැස්‌ස ශ්‍රී සුබ්‍රමනියම් විහාරස්‌ථානයේ අභිනවයෙන් සංවර්ධනය කර ධර්ම ශාලාව හා චෛත්‍ය විවෘත කිරීමේ උත්සවයේදී කියා සිටියහ.
එහිදී උන්වහන්සේ ,
“අප වසර 30 ක් ජාතිවාදය නිසා රට විනාශ වෙමින් ජීවිත නැති කර ගත්තා. එවැනි යුගයක මෙවැනි මිනිසුන් රටට සම්පතක්. අප කාටත් ආදර්ශයක් ගෙනදී තිබෙනවා. දරුවාගේ සිට වැඩිමහල්ලා දක්‌වා අද මෙම විහාරස්‌ථානයට පැමිණි චෛත්‍ය, බෝධිය, බුදු පිළිමය දෙස බලා ගෙන සිටිමින් තම කේන්තිය තරහා නැතිකර ගනිමින් හික්‌මීමක් ඇතිකර ගන්න පුළුවන්. විහාරස්‌ථාන වැසී යන යුගයක මෙවැනි විහාරස්‌ථාන ආරක්‌ෂා කරන හිමිවරු රැක ගැනීම අප සිංහල බෞද්ධ ජනතාවගේ යුතුකමකි.
අප සිංහල ජාතිය වඳ වී යන යුගයක විහාරස්‌ථාන වැසී යන යුගයක රට විනාශ වෙන යුගයක අප සිංහල ජාතියක් ලෙස තිබෙන එකම රට ආරක්‌ෂා කිරීම බුදු දහම ආරක්‌ෂා කිරීමට එකමුතුව පියවර ගමු, ජාති ආගම්වලින් තොරව නැගී සිටීමට පියවර ගමු, සෝරත නායක හිමි අද වයසට ගියත් දුෂ්කර කඳු නගිමින් විහාරස්‌ථාන තුනක් ආරක්‌ෂා කරනවා කියන්නේ එසේ පහසු වැඩක් නොවෙයි. එම නායක හිමියන් බලා ගැනීම දායක සභාවේ යුතුකමක්. එම නිසා අප කාටත් අද සතුටුවිය හැකි දවසක් කියලා මම හිතනවා.”
යැයි වැඩි දුරටත් කියා සිටි අතර මෙම අවස්‌ථාවට සුබ්‍රමනියම් විහාරාධිපති පූජ්‍ය කොහොවල සෝරත හිමිගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මාවනැල්ල ශ්‍රී වර්ධනාරාම විහාරාධිපති පූජ්‍ය වරාගොඩ ප්‍රේමරතන හිමි ඇතුළු මහා සංඝරත්නය එක්‌සත් බෞද්ධ රාජ්‍යයේ මහා සම්මේලනයේ ලේකම් සමුදය භානුක විමලසූරිය මහතා ඇතුළු දායක සභාව සහභාගි වූහ.