උසාවිය අසලදී පුද්ගලයකුට වෙඩි තබා ප්‍රදේශවාසීන්ගෙන් ගුටි කාලා මැරුනේ කොස් මල්ලිගේ ගෝලයෙක්
අංගොඩ ලොක්කා ගේ ගෝලයන් කොස් මල්ලිගේ අයියාටත් නෑනාටත් කඩු වලින් කොටලා
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල දී වෙඩි තබා අබිදුල් රහීම් හුසේන් රිස්කාස් මරා දැම්මේ පෙබරවාරි මස දහසය වැනිදා සවස් භාගයේ දීය.
ඔහුට වෙඩි තැබු පුද්ගලයා ඊට ටික වේලාවකට පසු ජීවිතක්ෂයට පත්විය. ඒ… ප්‍රදේශවාසීන් විසින් සිදුකළ පහර දීමෙනි. මිය යන තුරු පහර දී පාගා මුහුණ ද විරූපී කර තිබිණි.
මොහු සතුව තිබු පිස්තෝල දෙක ද පහරදුන් අය රැගෙන ගොස් තිබු අතර පසුව කොළඹ අපරාධ කොට්ඨාසය ඒවා සොයා ගත්තේය.
මොහු පැමිණි යතුරුපැදිය ද සිද්ධිය වූ ස්ථානය ඉදිරිපිට තේ කඩයක් අසල තිබී එදිනම පොලිසිය සොයාගත් අතර එහි දෙදෙනකු පැමිණි බව ද හෙළි විය. පහර කෑමෙන් මිය ගිය අය වෙඩික්කරු බවත් පලාගිය පුද්ගලයා පැදිකරු බවද අනාවරණය විය.
හුසේන් රිස්කාස් ඝාතනය රණාලේ සමයං කල්ලියේ වැඩක් බවට පරීක්ෂණ කණ්ඩායම් සැක කළ අතර ඒ බව තහවුරු කර ගැනීමට පසුව පොලිසියට හැකිවිය. ඒ… ඝාතකයා පැමිණි යතුරුපැදියේ අංකය පරීක්ෂා කිරීමෙනි. එය කැලණිමුල්ල සැළලිහිණි මාවත අංක 227/2 ලිපිනයේ පදිංචි පන්ඩිත ගේ ශාන්ත කුමාර යන අයගේ නමට ලියාපදිංචි එකකි. ඔහු… “කොස්මල්ලි” යන අනවර්ථ නාමයෙන් හඳුන්වන රණාලේ සමයං කල්ලියේ ගෝලයකු බව පොලිසිය දැන සිටියේය.
පහර කා මිය ගිය පුද්ගලයා හඳුනා ගැනීමට නොහැකි වු අතර ඔහු හඳුනා ගැනීමට උත්සාහ කරන අතරතුරේ යතුරු පැදිය පැදගෙන ආ පුද්ගලයා ද එහි හිමිකරු වන කොස්මල්ලි ද සොයා පොලිසියේ විශේෂ කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් දියත් කළේය.
මෙම මෙහෙයුම් සඳහා එක්ව සිටි බස්නාහිර දකුණ (මිරිහාන) විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පහර කා මිය ගිය පුද්ගලයා නිරෝෂන් නම් වූ සමයං කල්ලියේ සාමාජිකයා බව හඳුනාගත්තේය. යතුරු පැදියේ හිමිකරු වන කොස්මල්ලි සහ එය පැද ආ පුද්ගලයා සොයා සෝදිසි මෙහෙයුම් දියත් කරද්දී පසුගිය හත් වැනිදා උදේ කෙසෙල්වත්ත පොලිස් බල ප්‍රදේශයේ අබුබසාර් පල්ලිය පිටුපස කුණු ගොඩක තිබී කඳෙන් වෙන් කරන ලද මිනිස් හිසක් හමුවිය.
මෙම හිස සොයා ගත්තේ පොලිසියට ලැබුණු තොරතුරකට අනුවය. ගොත අසංක ලෙසින් හඳුන්වාගත් අයෙක් දුරකථන ඇමතුමක් දී පවසා තිබුණේ පල්ලිය පිටුපස කොස් මල්ලි ගේ ඔළුව තිබෙන බවය. තොරතුරට අනුව එම ස්ථානයට ගොස් සෝදිසි කළ පොලිසියට කුණු දමන කලු පැහැති බෑගයක තිබී මිනිස් හිස හමුවිය. පසුව එය කොස්මල්ලිගේ බව හඳුනාගත්තේය.
ගොත අංසක යනු සමයං කල්ලියේ ප්‍රබල සාමාජිකයෙකි. අංගොඩ ලොක්කා අතුරුගිරියේ ලඩියා කල්ලි වලට අයත් මුල් පෙළේ සාමාජිකයන් වන අංගොඩ රත්තරං සහ අතුරුගිරියේ බණ්ඩා වෙඩි තබා මරා දැමුවේ ගොත අසංක විසිනි. එහෙත්… ඔහු තමා ගොත අසංක ලෙස හඳුන්වනවාට කිසිම කැමැත්තක් නැත. යුද හමුදාවේ හිටපු සෙබළකු බැවින් ඔහු තමා හඳුන්වා දෙන්නේ ආමි අසංක ලෙසටය. දැනට ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.
ඒ අනුව එම දුරකථන ඇමතුම අසංක දුන් එකක් නොවන බව තහවුරු වේ. ඊට පසුදින මිරිහාන ඒකකය හුසේන් රිස්කාස් ඝාතනයේ යතුරුපැදි කරු අත්අඩංගුවට ගන්නේ අංගොඩ, කුඩා බුත්ගමුව, අංක 343/2 දරණ නිවෙසේ සිටියදීය. ඔහු පිළිබඳ තොරතුර ලැබෙන්නේ මිරිහාන ඒකකයේ කොස්තාපල් ප්‍රසන්නටය. ඒ… රිස්කාස් ඝාතනය සඳහා යතුරු පැදිය පැද ගියේ බුත්ගමුවේ සංඛ යන අය විසින් බවටය. එම තොරතුරට අනුව පසුගිය අට වැනිදා උදේ එම නිවෙස වැටලු පොලිස් කණ්ඩායමට ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
ඒ අනුව රිස්කාස් ඝාතනයට සම්බන්ධ තිදෙනකුම සොයාගත් නමුත් ඉන් දෙදෙනකුම හමුවුයේ ප්‍රාණය නිරුද්ධ වුවන් ලෙසටය. එබැවින්…. රිස්කාස් ඝාතනයේ තොරතුරු ලබාගත හැකි වුයේ අත්අඩංගුවට පත් පැදිකරුගෙන් පමණි.
විසි දෙහැවිරිදි මොහු ඔරුගොඩවත්ත රේගුවට අනුයුක්ත මෑන් පවර් ආයතයක සේවය කරයි. කොස්මල්ලි ගේ හිතවතකු වන මොහු යතුරු පැදිය පැදයන්නේ කොස්මල්ලි ගේ ඉල්ලීම මතය.
“එදා… කොස්මල්ලි මට කෝල් එකක් දීලා කිව්වා කොල්ලෙක් බයික් එකක් අරගෙන එයි. ඌ මගේ යාලුවෙක්. ඌට වැඩ වගේකට කොළඹ යන්න වෙලා. ඌට ලයිෂන් නැති නිසා උඹ ඌවත් දාගෙන බයික් එක පැදගෙන පලයං කියලා.”
“ඊට ටික වේලාවකට පස්සේ බයික් එකකින් එක්කෙනෙක් අපේ ගෙදරට ආවා. මම එයාව අඳුරන්නේ නෑ. කොස්මල්ලි එව්වේ කිව්වා. අලුත්කඩේ උසාවිය ළඟ ඉන්න එක්කෙනෙක්ගෙන් සල්ලි වගයක් ගන්න තියෙනවා. මට ලයිෂන් නෑ. ඔයා පදින්න කියලා මට බයික් එක දුන්නා. මම එයාවත් දාගෙන බයික් එක පැදගෙන එයා කියපු තැනට ගියා.”
“අලුත්කඩේ උසාවිය කිට්ටුව තේ කඩයක් ළඟ බයික් එක නතර කරලා අපි තේ බිව්වා. එයා කිව්වා ඒ මෑන් එනකම් බලාගෙන ඉන්න වෙනවා කියලා. සෑහෙන වෙලාවක් අපි එතනට වෙලා හිටියා. ඒ අතරේ කොස් මල්ලියි අසංකයයි එයාට කෝල් කළා.”
“ඔහොම පැය දෙකක් විතර ඉන්නකොට ආපහු එයාට අසංකගෙන් කෝල් එකක් ආවා. ඒ එක්කම එයා මට කිව්වා මම ගිහින් සල්ලි ඉල්ලගෙන එන්නම්. ඔයා බයික් එක ස්ටාර්ට් කරගෙන ඉන්න කියලා. මම බයික් එක ස්ටාර්ට් කළා. ඒත් ස්ටාර්ට් වුණේ නෑ. ඒ එක්කම වෙඩි සද්දයක් ඇහිලා බලද්දී එයා කාටද වෙඩි තියනවා. වෙඩි තියලා දුවලා ඇවිත් යමු කියලා බයික් එකට නැංගා. ඒ උනාට බයික් එක ස්ටාර්ට් උනේ නෑ. ඒ පැත්තේ හිටපු මිනිස්සු අපි දිහාට එන්න හදද්දී අපි බයික් එක දාලා පැනලා දිව්වා.”
“එයා එක පැත්තකට දිව්වා. මම තව පැත්තකට දිව්වා. බලද්දී ඒ සාංචි ආරච්චි වත්ත පැත්ත. මම අත දාලා ත්‍රිවිල් එකක් නතර කරගෙන ගෙදර ගියා.”
“ඊට පස්සේ මම ගෙදරට වෙලා රස්සාවට ගිහින් හිටියා. මම මේ ගමන ගියේ කොස්මල්ලිගේ කීමට. මනුස්සයෙක් මරන්න යන බව දැනගෙන හිටියේ නෑ. මට සල්ලි දෙන්න එයා පොරොන්දු වුණා. ඒත්… මාත් එක්ක ගිය කෙනා ගහලා මරලා කියලා ආරංචි උනාට පස්සේ කොස්මල්ලිලාගේ ෆෝන් එකක් වත් වැඩ කළේ නෑ. මම කරන්න දෙයක් නැති කමට ජොබ් එක කරගෙන හිටියා.”
අත්අඩංගුවට පත් සංඛ එලෙස පවසද්දී කොස්මල්ලි ගේ කඳෙන් වෙන් කළ හිස හමු වී අවසානය. සංඛ සමඟ යතුරු පැදියේ ගොස් රිස්කාස් ට වෙඩි තබා අනතුරුව ගුටි කා මිය ගියේ සමයං කල්ලියේ ප්‍රබල සාමාජිකයකු වන නිරෝෂන් පුෂ්පකුමාර යන අය බව ද හඳුනාගෙන තිබිණි.
රිස්කාස් ඝාතනයට ආ යතුරු පැදිය කොස්මල්ලි ගේ බව හඳුනා ගැනීමෙන් අනතුරුව ඒ බව හෙළි කිරීමට පරීක්ෂණ කණ්ඩායම් මැලිවිය. ඒ.. ඔහු ගේ යතුරුපැදිය බව සොයාගත් බවත් දැන් පොලිසිය ඔහු සොයන බවත් ආරංචි වුවහොත් ඔහු ප්‍රදේශය හැර පලා ගොස් සැඟවෙන බවට සැකසිතුණ නිසාය.
එහෙත්… අපරාධකරුවන් ගැන හා ඔවුන් සිටින ස්ථාන හෝ මාධ්‍ය වලින් හෙළි නොකළ ද ඔවුන්ට විරුද්ධ කල්ලි ඔවුන් පිළිබඳ සියලුම තොරතුරු සොයා ගන්නා බව දැන් වැට හී අවසානය. පරීක්ෂණ කණ්ඩායම් කොස්මල්ලි සොයා මෙහෙයුම් දියත් කරද්දී විරුද්ධ කල්ලිය ඔහු සිටින ස්ථානය සොයා පැහැර ගෙන ගොස් බෙල්ල කපා මරා අනතුරුව හිස රිස්කාස් මැරූ ස්ථානය අසලට ගෙනැවිත් දමන තුරු ඒ බව කවුරුත් දැන සිටියේ නැත.
කොස්මල්ලි යනු රණාලේ සමයං කල්ලියේ ප්‍රබල චරිතයකි. අංගොඩ ලොක්කා කල්ලියේ ප්‍රබලයකු වූ අංගොඩ රත්තරං ඝාතනය සඳහා ඔත්තු බලන්නේ ඔහුය.
මාකඳුරේ මදුෂ් ගේ මෙහෙයවීමෙන් රණාලේ සමයං මරා දැමීමෙන් අනතුරුව අංගොඩ ලොක්කාත් ලඩියාත් රට පැන්නේය.
එහෙත් පසුගිය වසරේ මැද හරියේ දී කැලණිමුල්ලේ පිහිටි කොස්මල්ලිගේ නිවෙසට ගිය අංගොඩ ලොක්කා ගේ ගෝලයන් නිවෙස කුඩු කර ඔහුගේ අයියාටත් නෑනාටත් කඩු වලින් කොටා බරපතල තුවාල සිදුකර තිබිණ.
ඉන් අනතුරුව කොස්මල්ලි ප්‍රදේශයෙන් අතුරුදන් වන අතර ඔහු සැඟ වී සිටිමින් අපරාධ වලට දායක වී තිබිණි.
මේ අතර ගෙල කපා කොස්මල්ලි මරා දමන අයුරු ෆේස්බුක් වෙබ් අඩිවියට ඇතුලත් කර තිබිණි. දෑත් පිටුපසට කොට කණුවක ගැටගසා ඔහුගේ ගෙල කපන අයුරු එහි සඳහන් ය. ගෙල කොටස හමුවුවද ඔහුගේ කඳ කොටස තවමත් හමු වී නැත.
බස්නාහිර දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ නුගේගොඩ කොට්ඨාශය බාර පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහ යන නිලධාරීන් ගේ උපදෙස් මත මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ජයන්ත පෙරේරා ප්රමුඛ උප පොලිස් පරීක්ෂකවරුන් වන හේමන්ත කුමාර, ලක්ෂමන්, සරුයන් වරුන් වන 56951 සුනිල්, 56958 ප්‍රසන්න, කොස්තාපල් වරුන් වන 21284 බණ්ඩාර, 40248 ප්‍රසන්න 72338 ලලන්ත, 72989 ගිහාන්, 81600 සමීර, 72688 අමිල 84762 කුමාර, 84426 ප්‍රදීප්, 88389 සම්පත් පරීක්ෂණ සඳහා එක්වුහ.
-තක්ෂිලා ජයසේකර-