පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් උසාවියට අපහාස කිරීම ඇතුළු චෝදනා 04 කට වැරදිකරු කොට බරපතළ වැඩ සහිත වසර 06ක සිරදඬුවමක් නියම කරමින් අභියාචනාධිකරණය දුන් නඩු තීන්දුවට එරෙහිව ඇපෑලක් ගොනු කිරීමට විශේෂ අවසර ඉල්ලා උන්වහන්සේ ගොනු කළ අයැදුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (05 ) ප‍්‍රතික්ෂේප කරන ලදී.
මේ අනුව උන්වහන්සේට එරෙහිව අභියාචනාධිකරණය දුන් නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරනු ලැබ ඇත.
දැනට සිරගතව සිටින ගලගොඩඅත්තේ හිමි ඇප පිට මුදාහරින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ අයෑදුම්පතකින් කර තිබූ ඉල්ලීම ද මේ සමඟ ප්‍රතික්‌ෂේප විය.
ඊවා වනසුන්දර (සභාපති), නලීන් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ අයෑදුම්පත පිළිබඳ විභාගය පැවැත්විණි.
විනිසුරු මඬුල්ල බහුතර කැමැත්ත අනුව විත්තිකාර හිමියන්ගේ ඉල්ලීම ප්‍රතික්‌ෂේප කිරීමට තීරණය වූ බව සභාපති විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය විනිසුරු මඬුල්ල ගත් තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළාය.
රටේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ එකී තීන්දුවට අනුව විත්තිකාර හිමියන්ට වසර 6 ක් සිරගතව සිටීමට සිදුවනු ඇත.
ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා දීර්ඝ වශයෙන් උන්වහන්සේ වෙනුවෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කරුණු ඉදිරිපත් කළේය.
ඔහු කියා සිටියේ එතරම් බරපතළ දඬුවමක් දීමට තරම් බරපතළ වරදක් උන්වහන්සේ සිදුකර නැති බවයි. උසාවියට අපහාස කිරීමේ සිද්ධිය වූයේ ගංගොඩවිල මහෙස්‌ත්‍රාත් උසාවියේදී බවත් විත්තිකාර හිමියන් විසින් උසාවියට අපහාස වන ආකාරයේ හැසිරීමක් හෝ ප්‍රකාශ කිසිවක් කර ඇත්නම් ඒ වරදට දඬුවම් කිරීමේ බලය මහෙස්‌ත්‍රාත්වරයකුට නීතියෙන්ම පැවරී තිබියදී ඒ පිළිබඳ පැමිණිල්ල සීමාවකින් තොරව විත්තිකරුවකුට දඬුවම් නියම කළ හැකි අභියාචනාධිකරණයට යොමු කිරීම වරදක් බවත් අර්ස කුලරත්න මහතා කීවේය.
ශ්‍රේෂ්ඨාධිකරණය දෙන “බලු නඩු තීන්දු” පිළිගන්නේ නැතැයි මුළු ලෝකයම දැන ගැනීමට හැකිවන පරිදි උස් හඬින් පැවසූ හිටපු ඇමැති එස්. බී. දිසානායක මහතාටත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ වසර 02 ක සිරදඬුවමක් බවත් හෝමාගම උසාවිය තුළ ඇති වූ සිද්ධියකට එතරම් බරපතළ සිරදඬුවමක් නියම නොකළ යුතුව තිබුණු බවත් ඔහු පැවසීය.
විත්තිකාර හිමියන් එදා හෝමාගම උසාවියට ගොස් තිබුණේ උසාවියේ විභාග වන කිසිදු නඩු කටයුත්තකට හිතාමතාම බාධා කිරීමට ගොස් කිසියම් කලබලකාරී තත්ත්වයක් ඇති කිරීමේ ෙච්තනාවෙන් නොවන බව උන්වහන්සේට එරෙහිව නැවත නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වූ සාක්‍ෂිවලින්ම සනාථ වූ බවත් ඔහු පැවසීය.
“ගරු ස්‌වාමිනී කොටි සමඟ යුද වැදී රට බේරගත් අය මුදා හැර අපිව සිරගත කරන්නැයි” හෝමාගම උසාවියේ විභාග වූ මාධ්‍යවේදී zප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන් වීමේ නඩුවේ විත්තිකරුවන්ට සහයෝගය දක්‌වමින් කර තිබෙන ප්‍රකාශයට අනුව පෙනී යන්නේ උන්වහන්සේ හෝමාගම උසාවියට ගොස් ඇත්තේ තමාගේ පුද්ගල අවශ්‍යතාවක් සඳහා නොව ජාතිමාමක හැඟීමෙන් යුතුව බව ඕනෑම කෙනකුට පැහැදිලිව වැටහෙන බවත් එම කරුණු ගැන සලකා බලා උන්වහන්සේගෙන් යම් වරදක් සිදුව තිබුණා නම් ලිහිල් දඬුවමක් නියම කළ යුතුව තිබුණ බවත් ජනාධිපති නීතිඥ රියන්සි අර්ස කුලරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන් අබේසූරිය මහතා විත්තිකාර හිමියන්ගේ ගොනු කර තිබූ ඇපෑලට ඉඩ දෙනවාට දැඩිව විරුද්ධත්වය පළ කළේය.
විත්තිකාර හිමියන් හෝමාගම උසාවියේ නඩු විභාග කටයුතු පැවැත්වෙන අතර උසාවිය අමතමින් කළ ප්‍රකාශ හා හැසිරුණු ආකාරය ගැන සලකා බලන විට උන්වහන්සේට නියම වූ දඬුවම වෙනස් කළ යුතු නැතැයි ද උන්වහන්සේ හැසිරී ඇත්තේ මහෙස්‌ත්‍රාත්වරයා විසින් දෙන ලද අවවාද කිසිවක් සලකන්නේ නැතිව ඉතාමත් දඩබ්බර ආකාරයෙන් බව ද පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එනිසා නඩු තීන්දුවට එරෙහිව ඇපෑලක් ගොනු කිරීමට ඉල්ලා ඉදිරිපත් කළ අයෑදුම්පත විභාගයක් පැවැත්වීමෙන් තොරව ප්‍රතික්‌ෂේප කළ යුතු යෑයි ද කීය.
නේජිත අතුකෝරළගේ, චමුද්‍රි, අර්සකුලරත්න, ගනේෂන් ප්‍රේමකුමාර, නාමල් කරුණාරත්න, තිලිණ පුංචිහේවා යන නීතිඥවරු විත්තිකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටියහ.