ඩීඅයිජී නාලක අනිවාර්ය නිවාඩු යවන්න පොලිස්‌පතිට නියෝග

ඩීඅයිජී නාලක අනිවාර්ය නිවාඩු යවන්න පොලිස්‌පතිට නියෝග
Spread the love

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඝාතනය කිරීම සඳහා කුමන්ත‍්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා වහාම අනිවාර්ය නිවාඩු යවන ලෙස ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාට ඊයේ (19) නියෝග කළේය.

නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා මහතා අනිවාර්ය නිවාඩු යවා මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්‌ පවත්වන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය මගින් ජාතික පොලිස්‌ කොමිසම වෙත නිර්දේශ කර තිබිණි.

චෝදනා ලැබ සිටින නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ සේවය වහාම අත්හිටුවන ලෙස දන්වමින් ජාතික පොලිස්‌ කොමිසම ඊයේ සවස පොලිස්‌පතිවරයා වෙත ලිඛිත දැනුම්දීමක්‌ කරන ලදී.

මේ අතර මෙම ඝාතන කුමන්ත්‍රණය සඳහා පාවිච්චි කළ බව කියන ජංගම දුරකථන රජයේ රස පරීක්‌ෂකවරයා වෙත ඉදිරිපත් කර කටහඬ පරීක්‌ෂාවක්‌ කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොටුව අධිකරණයෙන් ඊයේ අවසර ලබා ගත්තේය.

නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධී ජාතික පෙරමුණේ අධ්‍යක්ෂ නාමල් කුමාර අතර පැවැති දුරකථන සංවාදයේදී සහකාර පොලිස්‌ අධිකාරි ප්‍රසන්න අල්විස්‌ මහතාගේ නමද සඳහන්වී තිබිණි.

සහකාර පොලිස්‌ අධිකාරි ප්‍රසන්න අල්විස්‌ මහතාට නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගෙන් එල්ල වී තිබූ බව කියන තර්ජන පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කටයුතු කළේය.

මෙම කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන්ගෙන් මෙන්ම පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස්‌දෙනකුගෙන්ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ගැනීමට නියමිතය.