තැපෑල අඛණ්‌ඩ වර්ජනයේ

තැපෑල අඛණ්‌ඩ වර්ජනයේ
Spread the love

ඉල්ලීම් දෙකක්‌ මුල්කර ගනිමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ඊයේ (11) සවස 4.00 සිට අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ ආරම්භ කළේය.
 
 ප්‍රධාන තැපැල් කාර්යාල 653 ක උප තැපැල් කාර්යාල 3610 ක, පාලන කාර්යාල 100 ක සේවකයන් 23,000 ක්‌ වැඩවර්ජනයට සහභාගී වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
 
 තැපැල් දෙපාර්තමේන්තුවට ගැළපෙන ස්‌වාධීන බඳවා ගැනීම් පටිපාටියක්‌ සකස්‌ කරන ලෙස සහ වැඩබලන ස්‌ථානාධිපතිවරුන්ගේ රැකියාව සුරක්‍ෂිත කරන ලෙස කලක සිට බලධාරීන්ගෙන් කළ ඉල්ලීම්වලට නිසි විසඳුමක්‌ නොලැබීම නිසා මෙම වැඩවර්ජනය සිදුකරන බවද ඒ මහතා කීය.වැඩ බලන තැපැල් ස්‌ථානාධිපතිවරුන් වසර 7, 8, 10 වැනි කාලයක්‌ වැඩ බලන ස්‌ථානාධිපතිවරුන් ලෙස කටයුතු ඉටුකර තිබිදීත් ඔවුන් ස්‌ථිර කිරීම වෙනුවට වෙනත් පාර්ශ්ව තැපැල් ස්‌ථානාධිපතිවරුන් ලෙස පත් කිරීමට බලධාරීන් උත්සහ කරන බවත් මේ සම්බන්ධයෙන් කරුණු දක්‌වා කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ කැබිනට්‌ සංශෝධනයට අනුමැතිය ලබානොදී මාස හතරකට වැඩි කාලයක්‌ කල් මරමින් සිටින බවත් අවධාරණය කළ ඒ මහතා ආරම්භ කළ වැඩවර්ජනය සඳහා සාධාරණ විසඳුමක්‌ ලබා නොදෙන්නේ නම් අඛණ්‌ඩ වැඩවර්ජනය ඉදිරියටත් ගෙනයන බව වැඩිදුරටත් කියා සිටියේය.
 
 රට පුරා පිහිටි සියලු තැපැල් කාර්යාල වසා දමා අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අද සිට (12) රට පුරා ආරම්භ කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා පැවැසීය.රට පුරා පිහිටි සියලු තැපැල් කාර්යාල අද (12) සිට අපි සම්පූර්ණයෙන්ම වසා දමනවා. තැපැල් දුම්රිය අපි ඊයේ සවස සිට නවතා දමනු ලැබුවා.
 
 විදේශ තැපැල් හරහා ශ්‍රී ලංකාවේ සිට විදේශ රටවලට ලිපි සහ පාර්සල් යෑවීමත් විදේශ රටවල සිට කටුනායක බණ්‌ඩාරනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එන තැපැල් මලු කොළඹට රැගෙන ඒමත් අපි සම්පූර්ණයෙන්ම නතර කරනු ලැබුවා.
 
 මෙම අඛණ්‌ඩ වැඩවර්ජනය සඳහා තැපැල් දෙපාර්තමේන්තුව තුළ සේවය කරන 21000 ක්‌ පමණ වන සියලුම තැපැල් සේවකයන් සහ වෘත්තීය සමිති තිහක්‌ එක්‌වී සිටිනවා.
 
 තැපෑල සංවෘත දෙපාර්තමේන්තුවක්‌ බවට පත් කිරීම ඇතුළු අපේ ඉල්ලීම් රජය ලබාදෙන තුරු වර්ජනය නතර නොකරන බවද හෙතෙම පැවැසීය.