‘තෙල් ගැන හරියට දැන ගත්තොත්’ රැවටෙන්නෙත් නෑ- ලෙඩ වෙන්නෙත් නෑ

‘තෙල් ගැන හරියට දැන ගත්තොත්’ රැවටෙන්නෙත් නෑ- ලෙඩ වෙන්නෙත් නෑ
Spread the love

ෆාම් තෙල් ලීටරය…… යි.” යනුවෙන් සඳහන්වූ දැන්වීමක් සිල්ලර කඩයක් ඉදිරිපිට සවිකර තිබෙනවා පසුගිය දිනෙක දකින්නට ලැබුණි. මොනවා කරන්නද යනුවෙන් හිත හදාගෙන නිහඬ වෙන්නට උත්සාහ දැරුවත්, නිතර මා යන මාර්ගය අයිනේ වූ වෙළඳසැලක් නිසා දැන්වීම මගේ නෙත ගැටෙනා වාර ගණනද වැඩිය. පාරිභෝගිකයා වෙනුවෙන් තත්වය පහදා දෙන්නට මගක් නොමැතිවීම හේතුවෙන් ඒ හැම වතාවකදීම සිතට ඇතිවන කනස්සල්ලද මහත් මානසික වදයක් බවට පත්වී තිබේ.

‘ෆාම්’ (farm) යනු ගොවිපොළයි. මෙම වචනය යම්කිසි කෘෂි නිෂ්පාදනයක් ඉදිරියෙන් යෙදූවිට එය පාරිභෝගික සිතට වැඩිපුර සමීපවෙන තත්වයක් තිබේ. වඩාත් සෞඛ්‍යාරක්ෂිත බවක්ද දැනෙන්නේය. හොඳට ඉංග්‍රීසිය හසුරවන්නන් පවා ඇතැම් අවස්ථාවල ‘ෆාම් ඔයිල්’ යන යෙදුම භාවිතා කරනවා මා අසා තිබේ. විටෙක මා එය ඇසුවේ රුපවාහිනී නිවේදකයෙකුගෙන්ය.

ෆාම් farm ඔයිල් සහ පාම් Palm ඔයිල් අතර වෙනස

මේ කියන්නේ ‘පාම්’ (Palm) ශාක නොහොත් තාල වර්ගයේ ශාකයක් වන ‘ඔයිල් පාම්’ ශාකයෙන් ලබාගන්නා, ‘පාම් ඔයිල්’ ගැනය. තවත් තේරෙන විධියට කියනවානම් කටුපොල් තෙල් ගැනය. එක අකුරක වෙනසින් එයට ලැබුණු සුචරිතභාවය කෙතරම්ද කියනවානම් අද රටේ කී දෙනෙක් වැඩි හොඳට යයි කියා, ෆාම් තෙල් (පාම් තෙල්) අනුභව කරනවා ඇත්ද? ඒ සිල්ලර කඩයේ තත්වයයි.

පහල මධ්‍යම පන්තිකයා සිට යන්නට පුරුදු වී ඇති සුපිරි වෙළඳසැලේ තත්වය මීටත් වඩා නරකය. එහිදී ඇතැම්විට පාම් තෙල් හඳුන්වන්නේ ‘එළවලු තෙල්’ නොහොත් දිවට වඩාත් හුරු පරිදි වෙජිටබල් ඔයිල් වශයෙනි. ටොක්ක අනින්නට පෙර බොහොම සනීපෙට හිස අතගාන පරිද්දෙන් රාක්ක වල අසුරා ඇති වෙජිටබල් ඔයිල් බෝතල් වල පාට පාට දවටනයන්හි, වයිවාරන එළවලු වර්ගවල පිංතූර පිරිලාය.

කැරට්, බෝංචි, ගෝවා, ලීක්ස් ආදියෙන් බෝතල් පිරෙන්නට තෙල් හිඳින්නට හැකිදැයි දෙපාරක් නොසිතනා පාරිභෝගික නෝනලා, රාක්ක අතරින් සීරුවට තල්ලු කරන ට්‍රොලියට වෙජිටබල් ඔයිල් බෝතලයක් ඔබාගන්නේ අල්ලපු රාක්කයේ ඇති පොල්තෙල් බෝතල් දෙසට වපර ඇසින් බැල්ම හෙළමිනි. තම ලේ නෑයාට ලැබෙන සත්කාරය ගැන ඉරිසියා නොකරන තරමට පොල්තෙල් බෝතලය නිහතමානී වී ඇති බව නම් ඇය නොදන්නීය.

මේවා එළවලු තෙල් නොවේ. සරල ‘කටුපොල්‘ තෙල්මය. වගකීමෙන් බේරෙන්නට අවශ්‍ය නිසා ආනයනකරුවන් විසින් බොහොම පුංචි අකුරෙන් එහි ඇත්තේ පාම් තෙල් බව ඉංග්‍රීසියෙන්ම සඳහනක්ද කර තිබේ. පින්තූරවල විචිත්‍රත්වයෙන් කුල්මත්වී ට්‍රොලි පුරවන්නාට ඒවා පෙනෙන්නේ නැත. ගමේ එකා ඇඟට අගුණ පොල්තෙල් බුදිද්දී, අපිනම් ෆ්‍රයි කරන්නේ වෙජිටබල් ඔයිල් වලින් යයි සිහින් ආඩම්බරයක් නාගරිකයාට තිබේ.

නමුත් නොදන්නාකම නිසාම ඔවුහු කකුල් දෙකෙන්ම වලිගය පාගාගෙන සිටිති. එළවලු තෙල් නමින් හඳුන්වන ආහාරයට ගන්නා තෙල් වර්ග පන්තියක්ද ලොව පුරා භාවිතා කෙරේ. සුරියකාන්ත තෙල්, සෝයා තෙල්, බඩඉරිඟු තෙල් ආදිය මේ අතරින් අප රටෙහිද සුලභය. මීට අමතරව විදෙස් රටවල නම් ඔලිව් තෙල්, කැනෝලා තෙල්, අලිගැටපේර තෙල්, රටකජු තෙල් ආදියද තිබේ. මේ හැම තෙලකම ගුණ අගුණ දෙකම ඇති නිසා නොදැන ගියොත් නම් අතරමගමය.

“පොල්තෙල් වුණත්, පාම් තෙල් වුණත් ඔය දෙකේම වැඩිපුර තියෙන මේද අම්ල, සංතෘප්ත මේද අම්ල කියලයි වර්ග කරලා තියෙන්නේ.පාම් තෙල් වලනම් පොල් තෙල් වලට වඩා තරමක් අඩුවෙන් තමයි තියෙන්නේ. ඒත් පොල්තෙල් වලනම් 92% ක්ම සංතෘප්ත මේද අම්ල. පාම් තෙල් වලට එළවලු තෙල් කියනවානම් පොල්තෙල් වලටත් එහෙමම කියන්න වෙනවා. සත්ව තෙල් වල තියෙන්නේත් වැඩිපුරම ඒ වර්ගයේ මේද අම්ල. රුධිරයේ ‘නරක කොලෙස්ටරෝල්’ (LDL) කියන වර්ගය වැඩි කරවන්නේ මේවා විසින්. ඒ හරහා හෘදයාබාධ අවදානමද ඉහළ යනවා. නමුත් නියම එළවලු තෙල් ගණයට වැටෙන තෙල් වර්ග වල තියෙන්නේ ‘අසන්තෘප්ත මේද අම්ල’ කියන ඒවා.”

බැටළු වෙස්ගත් වෘකයෙක් බඳුවූ පාම් තෙල් නමැති ඊනියා වෙජිටබල් ඔයිල් ගැන මූලික හැඳින්වීමක් ලබා දුන්නේ කෘෂි විද්‍යාඥ සෙනරත් ඒකනායක මහතායි. හෙතෙම කලකට ඉහතදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකයේ ප්‍රධානියාද විය.

කටුපොල් වගාව ගැන  විවේචන

පාම්තෙල් ලබාදෙන කටුපොල් වගාව ගැන අපටත් විවේචන තිබේ. ඉන්දුනීසියාව මැලේසියාව වැනි රටවල් කටුපොල් වවා රන්කාසි නෙලන්නේ පරිසරය උගසට තබමින් බව නම් සැබෑවකි. කෙසේ නමුත් එරට ජනයා අප තරමට තම මව්බිම වෙනුවෙන් කටුපොල් වගාවට එරෙහිව කෑ ගසන්නේ නම් නැත.

කටුපොල් වවා පරිසරය වනසාගැනීමට ඔවුන් කටයුතු කල ආකාරයට හොඳම උදාහරණයක් වන්නේ ඔරංඔටං ගේ ඛේදවාචකයයි. මේ සත්වයාගේ නිජබිම වී තිබුනේ සුමාත්‍රා සහ බෝනියෝ දූපත් වලට අයත් වැසි වනාන්තරයි. සොබාදහම සුරකීමේ ජාත්‍යන්තර සංගමය විසින් අද වනවිට බෝනියෝහි ඔරංඔටං, අන්තරායට පත් සත්වයෙක් ලෙස වර්ගකර තිබේ. සුමාත්‍රා හි ඔරංඔටං, අතිශයින්ම අන්තරායට පත්වූ එකෙකි. තව වසර 10-20 ක් අතරතුර ඔරංඔටං කෘතිම සත්තු වත්තකට සීමාවූවෙකු වෙනවා ඇත. මීට හේතුව ඉහත රටවල සීග්‍රව ව්‍යාප්තවෙන කටුපොල් වගාවයි. එම දූපත් වාසීහු ඔරංඔටංගේ නිවස්නය වූ ස්වභාවික වැසි වනාන්තර කපා ගිනි තබා කටුපොල් වගා කරති. වන විනාශයේ වේගය ගැන එක වාර්තාවක සඳහන් කර තිබුණේ පැයකට පාපන්දු පිට්ටනි 300 ක තරම ප්‍රදේශයක වනාන්තරයක් කපා බිම හෙළනා බවයි.

අපේ රටේ නම් බැලූ බැල්මට ඔරංඔටංලා නැත. ඒ නිසා කටුපොල් වගාවෙන් සිදුවෙන පරිසර විනාශයක් ඇත්නම් එය වෙනම කෝණයකින් අධ්‍යයනය කලයුතු වේ. මෙම ලිපියට එය අදාළ නොවන නිසා වැඩිදුරට ඒ ගැන නොලියමි. ‍

පොල් තෙල් ගැන ද අගුණ කතා

අප අනාදිමත් කාලයක සිට පොල්තෙල් අනුභව කරන්නෙමු. එකල කෑමට වෙනත් තෙලක් තිබුණේ ද නැත. හොඳට පොල්කිරි දමා ව්‍යංජනද පිසගත්තෙමු. මෙම අනුභව රටාව මත හදවත් රෝග වැළඳෙන බවක් එකල හඬනගා කීවේද නැත. සෑදෙන පපුවේ කැක්කුමක්, ඇම්මක් හෝ වාත අමාරුවක් සේ සලකන්නටත්, හදිසියේ සිදුවෙන මිය පරලොව යාමක් අදෘශ්‍යමාන බලවේගයකට භාරකරන්නටත් පැරණි ගැමියා පුරුදුවී සිටි නිසා එසේ වූවා විය හැකිය.

නමුත් පසු කලෙකදී පොල්තෙල් භාවිතයේ අගුණ බව පෙන්වන වාර්තා කරලියට එන්නට පටන් ගැනුනි. මෙය තමාගේ සූරියකාන්ත තෙල් ටික විකුනාගන්නට බලවත් රටවල් විසින් කුමන්ත්‍රණකාරීව පතුරුවා හරින මිත්‍යාවක් යයිද අදහස් ප්‍රකාශ කෙරුනි.

මීට සම්පාතව ‘කුමන්ත්‍රණය’ පරාද කරනු වස්, විදේශයන්හිම කරන ලද පොල්තෙල් වලට හිතවාදී පර්යේෂණ වාර්තාද ගෙනහැර පෑමටද පොල්තෙල් පාක්‍ෂිකයින් කටයුතු කරනවා දක්නට ලැබුණි. පොල්තෙල් වල සුගුණ සොයන්නට  පිලිපීනය පැත්තේ විද්‍යාගාර වල දොරපියන් දිවා රෑ විවෘතව තැබුණි. මන්දයත් පොල්තෙල් කර්මාන්තය ඔවුන්ගේ ප්‍රධාන විදේශ විනිමය උල්පතක් නිසාය. ඔවුනට පොල්තෙල් රැකගැනීම තම හුස්ම රැකගන්නවාටත් වඩා වටින්නේය.

Boost memory power by consuming virgin coconut oil | Lifestyle ...

“පොල්තෙල් හොඳයි කියන විදෙස් පර්යේෂණ වාර්තා අරගෙන පරිස්සමෙන් බැලුවොත් පේනවා ඒ පර්යේෂණ සේරෝම විද්‍යාගාර ඇතුලේ කරලා තියෙන්නේ අපි වෙළඳපොලෙන් ගන්න විධියේ පොල්තෙල් අරගෙන නෙවෙයි. ඔවුන් තමාගේ පර්යේෂණ සඳහාම ඉතා ක්‍රමවත්ව, පිරිසිදු පොල්තෙල් හදලා, ඒවායින් තමයි පර්යේෂණ කරලා තියෙන්නේ. මේවා අදූෂිත නොහොත් පිරිසිදු පොල්තෙල් (virgin coconut oil). එතකොට හොඳ ප්‍රතිපල එන්න පුළුවන්. ඒත් අද සිල්ලර කඩේ තියෙන පොල්තෙල් වල තත්වයට මේ පර්යේෂණ වාර්තා ගලපන්න බෑ. වෙළඳපොලේ තියෙන බාල පොල්තෙල් ඉතා රළු ක්‍රමයට හදපුවා. නිෂ්පාදන ක්‍රමවේදය තුලදී ඒ තෙල් වලට ගොඩක් වෙනස්කම් සිදුවෙනවා. ජනතාව අනුභව කරන්නේ ඒවායි. හානිය වෙන්නේ ඒවායිනුයි. එතැන නිවැරදි නොකර පොල්තෙල් හොඳයි කියන්න බෑ.”

පොල් තෙල් කටුපොල් තෙල් වගේ නෑනේ

පොල්තෙල් හා පාම්තෙල් යන දෙකම එක ලඟින් යන තෙල් වර්ග නම්, සුපිරි වෙළඳසැලේ වායුසමන තත්වය යටතේ තිබෙන පොල්තෙල් බෝතල් මිදී, සුදු පැහැයට තිබෙත්දී පාම් තෙල් බෝතල් යස අගේට රන්වන් දියර තත්වයෙන් තිබෙන්නේ කෙසේද යන්නත් අප විසඳාගත යුතුය.  පොල්තෙලේ ලඟ නෑදෑයා වන කටුපොල් ගසේ තෙල් එසේ හැසිරෙන්නේ නැත්තේ ඇයි? ආහාර විද්‍යාඥයා පිළිතුර අසලය.

“කටුපොල් තෙල් වලට පොඩි වෙනසක් කරනවා. කර්මාන්තයේදී මේ තෙල් ක්‍රමයෙන් ශීත කරන කොට පොල්තෙල් වගේම කොටසක් මිදෙනවා. එතැන තියෙන්නේ වැඩිපුර අගුණ කොටස් තමයි. පෙරීම හරහා ඒ ටික ඉවත් කෙරෙනවා. වෙනත් කර්මාන්ත වලට ඒවා යොදා ගන්නවා. ඉතිරි දියරය කාමර උෂ්ණත්වයේදී මිදෙන්නේ නෑ. දැන් ඒකට වෙන නමකුත් කියනවා. ‘පාම් ඔලීන්’ කියන්නේ මේ ද්‍රව්‍යය. මෙය පාම් තෙල් වලට වඩා මිල වැඩියි. ඒ වගේම ශරීරයට හොඳයි නෙවෙයි, හානිය අඩුයි. මෙරට විකුණන පාම් තෙල් බෝතල් වලත් ඔය නම සඳහන් කරලා තියෙනවනම් ඒවා ඔය කියන නියම එළවලු තෙල් වලට බොහෝ දුරට ගතිගුණ වලින් ළඟයි.”

හෙතෙම පවසන මෙම ශීතකිරීමේ ක්‍රමවේදය හඳුන්වන්නේ ‘ශිශිරකරණය’ (Winterization) යනුවෙනි. ආරම්භයේදී කැටිගැසුණු තෙල් කොටස් ඉවත්වූ පසු ඉතිරිවන දියර තෙලෙහි වැඩිපුර ඇති මේද අම්ල වන්නේ ඔලෙයික් හා ලිනොලෙයික් අම්ලය වැනි අසන්තෘප්ත මේද අම්ලයන්ය. ඒවා මිදෙන්නේ සෙන්ට්‍රිගේට් අංශක 18-20 අතර උෂ්ණත්වයකදී නිසා අංශක 25 කට පරිසර උෂ්ණත්වය සැකසූ සුපිරි වෙළඳසැල් රාක්කය මතදී වුවත් ඒවා මිදෙන්නේ නැත.

ඔලෙයික් අම්ලය යනු අගනා එළවලු තෙලක් වන ඔලිව් තෙල් වල බහුලව ඇති සංඝටකයයි. එසේනම් ‘පාම් ඔලීන්’ ලෙස නම්කර ඇති තෙල් බෝතලය, එළවලු තෙල් යයි සිතා මිලදී ගැනීමේදී පාරිභෝගිකයාගේ මුලාවීම, පාම්තෙල් මිලදී ගන්නා තරමට සැර නැත.

තෙල් පාරිභෝජනය බැහැර කළහැකි දෙයක් නොවේ. එය ආහාරයේ තිබිය යුතු අංගයකි. ඒ මගින් ආහාරයට රසයක්, ප්‍රසන්න සුවඳක් හා හොඳ වයනයක් ලබාදෙයි. ‘කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් කොබෙයියාගේ වෙනසක් නැතැ‘යි කිව්වත්, පිසින ක්‍රමය අනුව කොබෙයි මසෙහි ස්වරූපය නම් පැහැදිලිවම වෙනස් වන බව, දන්නෝ දනිති. එවන් විවිධත්වයක් සහිත බාහිර ආටෝපයක් නැතිනම් අනුභවයට රුචියක් උපදින්නේද නැත.

සූපවේදයේදී වෙනස ගළපා ගත යුතුය

සංතෘප්ත මේද අම්ල 92.1% ක් සහිතව සත්ව තෙල් වලට සමීපව සිටිනා පොල්තෙල් වලට සාපේක්ෂව කටුපොල්තෙල් වල ඇත්තේ සංතෘප්ත මේද අම්ල 50% ක ප්‍රමාණයකි. නියම එළවලු තෙල් යයි මෙම ලිපියේ අප හඳුන්වාදුන් මෙරට සුලභව භාවිතා කරන තෙල් වර්ග තුනක් වන සූරියකාන්ත, බඩඉරිඟු හා සෝයා තෙල්වල සංතෘප්ත මේද අම්ල ප්‍රතිශතයන් පිලිවෙලින් 11%, 13% හා 15% ක් වේ. එනම් වැඩිපුර තිබෙන්නේ අසන්තෘප්ත මේද අම්ලයන්ය. මෙය පොල්තෙල් වලට මුළුමනින්ම පරස්පර තත්වයකි. එසේනම් අපගේ සූපවේදී ක්‍රියාකාරකම් තුල පොල්තෙල් හා එළවලු තෙල් එකම විධියට හැසිරෙනවා යයි සිතන්නට බැරිය.

තෙල් පාරිභෝජනය බැහැර කළහැකි දෙයක් නොවේ. එය ආහාරයේ තිබිය යුතු අංගයකි. ඒ මගින් ආහාරයට රසයක්, ප්‍රසන්න සුවඳක් හා හොඳ වයනයක් ලබාදෙයි. ‘කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් කොබෙයියාගේ වෙනසක් නැතැ‘යි කිව්වත්, පිසින ක්‍රමය අනුව කොබෙයි මසෙහි ස්වරූපය නම් පැහැදිලිවම වෙනස් වන බව, දන්නෝ දනිති. එවන් විවිධත්වයක් සහිත බාහිර ආටෝපයක් නැතිනම් අනුභවයට රුචියක් උපදින්නේද නැත.

මීට අමතරව මේදයේ පමණක් දියවෙන විටමින් වර්ග දේහය තුල ඒ මේ අත පරිවහණය කරන්නටත් තෙල් නැතිවම බැරිය. හෝමෝන වැනි ද්‍රව්‍යයන් නිපදවන්නටත් අමුද්‍රව්‍ය සපයන්නේ තෙල් මගින්ය. මෙවැනි අත්‍යවශ්‍ය පෝෂණ පදාර්ථයක් බිහිසුණු කාල බෝම්බයක් තරමට අර්ථ දක්වන සමාජයක් අද බිහිවී ඇත්තේ, තෙල් පාරිභෝජනය ආවාට ගියාට සිදුකිරීමේ හේතුවෙන්ය.

අප තෙල් පාරිභෝජනය කරන්නේ ගැඹුරු තෙලේ දමා බැදගත් ආහාර හෝ තෙම්පරාදුවක් ලෙස පිළියෙළ කල කෑම සමගය. තෙල් තාච්චිය පෙන දමන්නට උතුරවන විට බාහිර ඔක්සිජන් තෙල් තුලට රිංගන්නට බලයි. තෙල් අසන්තෘප්ත නම් වැඩේ පහසුය. එනම් අසන්තෘප්ත මේද අම්ල බහුල සූරියකාන්ත, බඩඉරිඟු හා සෝයා වල මෙම ඔක්සිකරණය පහසුවෙන් සිදුවේ. එනම් ඒවා උතුරන තෙල් තාච්චිය තුලදී පොල්තෙල් තරමට ශක්තිමත්ව, ස්ථායීව හැසිරෙන්නේ නැත.

තෙලේ බලේ ගැන නිසි විද්‍යාත්මක දැනුමක්

“අසන්තෘප්ත තෙල් වලින් ‘මුක්ත ඛණ්ඩක’ කියල අංශු විශේෂයක් මුදා හරිනවා. කල් ගතවෙනකොට මේ වැඩේ ඉබේටම සිදුවෙන දෙයක්. ආලෝක කිරණ, තෙතමනය, උෂ්ණත්වය, ඔක්සිජන් සැපයුම වගේ තත්වයන් මත මෙය පහසුයි. පිටරටින් ගෙනෙන ඔලිව් තෙල් එහෙම කලුපාට බෝතල් වල දාල සීල් කරලා තියෙන්නේ මේ ඔක්සිකරණය නවත්තන්න. අපි තෙල් උණු කරනකොටත් මේ වැඩේම වෙනවා. එතකොට බැදපු ආහාරයත් සමග මුක්ත ඛණ්ඩක ශරීර ගතවෙනවා විතරක් නෙවෙයි, දම්වැල් ප්‍රතික්‍රියාවක් වගේ ආහාරයේ තිබෙන අනෙක් තෙල් සමගත් ප්‍රතික්‍රියා කරමින් මුක්ත ඛණ්ඩක ‘පැටවු ගහනවා’. මෙම අස්ථායී ඛණ්ඩක දේහයෙන් බැහැර කරගත නොහැකි වූ විට, දේහ සෛලවලට යම් ආතතියක් ඇතිකරමින් දේහයේ ක්‍රියාකාරිත්වය අවුල් කරන නිසා ශරීරය ලෙඩ වෙනවා. හදවත් රෝග, පිළිකා, ආඝාතය, ආතරයිටීස් වැනි තත්වයන් මේවාට උදාහරණ. වෛද්‍යවරුන් පවසන්නේ පිටතින් ගන්නා ‘ප්‍රතිඔක්සිකාරක’ (Antioxidants) නම් ද්‍රව්‍ය හරහා ඉහත කී මුක්ත ඛණ්ඩක ඇතිකරන ප්‍රචණ්ඩත්වය සමනය කරන්න පුළුවන් බවයි. හැබැයි ඒ වගේම සාධාරණ නැත්ද අපේ ආහාර පිළියෙළ කිරීමේ රටාව එහා මෙහා කරලා මුක්ත ඛණ්ඩක හැකිතරම් අඩුවෙන විධියට කෑමටික හදා ගත්තොත් ?”

ගැඹුර තෙලේ බැදීම හා නොගැඹුරු තෙලේ බැදීම

ගැඹුරු තෙලේ බැදීම

ආහාර විද්‍යාඥ සෙනරත් ගේ විමසීම හෝ යෝජනාව පැහැදිලිය. පිටරටවල ධනවත් ඇත්තෝ ගැඹුරු තෙලේ යමක් බැද්දත් ඒ තෙල් ටික නැවත භාවිතා කරන්නේ නැත. ඔය කියන විධියට බැදීමෙන් පසු එම තෙලේ මුක්ත ඛණ්ඩක පිරිලාය. නැවත රත් කළහොත් ඔක්සිකරණය තව ටිකක් සිදුවී තවත් මුක්ත ඛණ්ඩක ටිකක් තෙල් ගොඩට මෙන්ම එයින් බදිනා ආහාරයටද එකතු වන්නේය. එම තෙල රත්කරන වාරයක් පාසා මේ ආකාරයට මුක්ත ඛණ්ඩක සාන්ද්‍රණය එහි වැඩි වන්නේය.

‘බැදුම් තෙල්’ භාවිතා කිරීමේ අවදානම ඇත්තේ එතැනයි.සූරියකාන්ත, බඩඉරිඟු හා සෝයා තෙල් වැන්නක් ගැඹුරු තෙලේ බැදීමට භාවිතා කරන්නේ නම් මේ අවදානම වැඩිය. මන්දයත් ඒවා අසන්තෘප්ත තෙල් බැවින් පහසුවෙන් ඔක්සිජන් සමග ක්‍රියාකරන බැවිනි. ගැඹුරු තෙලේ බැදුමට එළවලු තෙල් වලට වඩා පාම් තෙල් හොඳය. පොල්තෙල් ඊටත් වඩා සුදුසුය. මන්දයත් එහි 92% ක් ම සංතෘප්ත මේද අම්ල ඇති බැවිනි. එසේනම් අප කොබෙයියා බැදගත යුත්තේ පොල්තෙලෙන් මිස එළවලු තෙලෙන් හෝ පාම් තෙලෙන් නොවේ!

ගැඹුරු තෙලේ වැඩි වේලාවක් ගිල්ලවාගෙන බදිනා, කැවුම්, කොකිස්, ආස්මි, උඳුවැල් ආදී අපගේ සාම්ප්‍රදායික ආහාර පිසීමේදී අතීතයේ භාවිතා කරනු ලැබුවේ පිරිසිදු පොල්තෙල්ය. අවුරුදු මේසය පිරෙන්නට තෙල් බේරෙන කැවිලි හදන්නට සොබා දහම විසින්ම සංතෘප්ත මේද අම්ල සහිත තෙල් බඳුනක් තෝරා දීම කෙතරම් සුන්දර සිදුවීමක්ද? එහෙත් අද දවසේ වැඩි හොඳට යයි කියාගෙන සුරියකාන්ත හෝ වෙනත් මිල අධික තෙලකින්, ගම අමතක වුණු ටවුන් වැසියෝ කීදෙනෙක් කොකිස් උඳුවැල් බදිනවාදැයි අප දන්නේ නැත. ලඟ එන අවුරුදු කෑමේදීවත් ඔවුන් පොල්තෙල් වලට මාරුවිය යුතුය.

මග දෙපස වේගයෙන් බිහිවෙන ‘ෂෝට්ඊට්ස්’ කඩ, වඩේ බදින කරත්ත, එකම පාන්පිටි ගුලිය විවිධ හැඩයට නවා මුරුක්කු සැණකෙළි මවන බයිට් වෙළෙන්දෝ ආදී මෙකී නොකී සියල්ලෝම බහුජන ගත සුව පිණිස, වරක් බැදි තෙල් තාච්චිය ඉවතලා අලුත් තෙල් පුරවනවායයි ඔබ සිතන්නේද? පාරේ යන්නවුන්ට පෙනෙන්නට වීදුරු පෙට්ටිවල අසුරාගෙන මේ විකුණන්නේ තෙල් බඳුන හිඳෙන තුරු ඒ තුල කලතමින් බදින ලද අනාරක්ෂිත ආහාරයි.

පාවිච්චි කළ තෙල් නැවත නැවත භාවිතය

Weligama, Sri Lanka, 2018-01-16: Asia food stall. Trolley on ...

තරු පහේ හෝටල් වල නවතින ධනවතුන් උදෙසා සුපිරි ආහාර වර්ග පිළියෙළ කරන හෝටල් මුළුතැන් ගෙවල්හි වරක් භාවිතාකල තෙල් නැවත රත්කරන්නේ නැත. ධනවතාගේ පර්වත  සිරුරට ආහාරයත් සමග යහමින් මුක්ත ඛණ්ඩක ඇතුල්විය හැකි බැවිනි. එහෙත් පසුගිය දිනෙක අසන්නට ලැබුනේ එතැන භාවිතා නොකරන මෙම පාවිච්චි කල තෙල්, මිලට ගැනීමට තවත් පිරිසක් තරු පහේ කුස්සියට පිළිකන්නෙන් රිංගන බවයි. මෙය හෝටල් පාලකයින්වත් නොදන්නා කිචන් ගනුදෙනුවකි. ඔවුන් එය පරිස්සමට පෙරා රොඩුබොඩු ඉවත්කර වෙනත් තෙල් වලට මිශ්‍රකර ගමේ කඩවලට බෙදා හරින අතර ආර්ථික අහේනිය හමුවේ ලාබ තැනක් සොයමින් ඉව අල්ලන ගමේ එකා මුක්ත ඛණ්ඩක පිරුණු මෙම බාල තෙල් ගුදම අසල නවතී. එයින් ටිකක් ගෙදර ගෙනගොස් නිවී හැනහිල්ලේ කරවල කෑල්ලක්ද බැදගනී.

මග දෙපස වේගයෙන් බිහිවෙන ‘ෂෝට්ඊට්ස්’ කඩ, වඩේ බදින කරත්ත, එකම පාන්පිටි ගුලිය විවිධ හැඩයට නවා මුරුක්කු සැණකෙළි මවන බයිට් වෙළෙන්දෝ ආදී මෙකී නොකී සියල්ලෝම බහුජන ගත සුව පිණිස, වරක් බැදි තෙල් තාච්චිය ඉවතලා අලුත් තෙල් පුරවනවායයි ඔබ සිතන්නේද? පාරේ යන්නවුන්ට පෙනෙන්නට වීදුරු පෙට්ටිවල අසුරාගෙන මේ විකුණන්නේ තෙල් බඳුන හිඳෙන තුරු ඒ තුල කලතමින් බදින ලද අනාරක්ෂිත ආහාරයි.

අප පෝෂණවේදීන් හෝ වෛද්‍යවරුන් නොවුනත්, දැනට ප්‍රකාශයට පත්ව ඇති විද්‍යාත්මක ලේඛන වලට අනුව සමාජයේ පොදු ජනතාවට වරදින තැන් පෙන්වාදීමේ වගකීම අතහැරිය යුතු නොවේ.

ගැඹුරු තෙලේ බදිනවානම් වඩා සුදුසු වන්නේ පොල්තෙල්ය. ඒත් එක වරක් පමණි. නැවත භාවිතය නුසුදුසුය. තෙම්පරාදුවක් කරනවානම් තෙල් භාවිතා වන්නේ එක වරක් පමණක් නිසාත්, දිගු වෙලාවක් තෙල් සමග සෙල්ලම් නොකරන නිසාත්, අසන්තෘප්ත මේද අම්ල සහිත එළවලු තෙලක් භාවිතා කිරීමේ වරදක්ද නැත. හදගැස්මට ගැටළුවක් ඇති නොවන පරිද්දෙන් කටගැස්මට සුදුසු තෙල තෝරාගත යුතුයයි අප පවසන්නේ වෙළඳපොලේ ඇති තෙල් වර්ග පෙන්වන මේ පරස්පර හැසිරීම නිසාය.