තෙල් මිල පාලනයට නව මිල සූත්‍රයක්

තෙල් මිල පාලනයට නව මිල සූත්‍රයක්
Spread the love

සෑම මාස තුනකට වරක් එළඹෙන පස්වන දිනයේ මෙරට වෙළෙඳ ‍පොළේ පැට්‍රල් සහ ඩීසල් මිල යාවත්කාලීන කිරීම සඳහා හඳුන්වා දෙන මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

ලෝක වෙළෙඳ ‍පොළේ තෙල් මිලෙහි සිදුවන මිල උච්ඡාවචනයන් සැලකිල්ලට ගෙන මෙරට වෙළෙඳ ‍පොළේ තෙල් මිල සෑම මාස තුනකට වරක් මේ අනුව සංශෝධනය වීමට හෝ නොවීමට ඉඩ ඇති අතර ඉන්ධන මිල ගණන් සඳහා පිරිවැය පාදක කරගත් මිල සූත්‍රයක් හඳුන්වා දීමටත් එය 2018 මැයි මස 11 දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය මීට පෙර අවසර දී තිබුණි. අවසන් වරට මෙරට ඉන්ධන මිල සූත්‍රයක් ක්‍රියාත්මක වූයේ 2001-2004 වසර කාලය අතරතුරය.

ඉන්පසු එම මිල සූත්‍රය අක්‍රිය වූ අතර පසුව රජය මෙරට වෙළෙඳ ‍පොළේ ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ලැබුවේ ලෝක වෙළෙඳ ‍පොළේ තෙල් මිලෙහි සිදුවන මිල වෙනස්වීම් මතය. එහිදී ඉන්ධන මිලෙහි වැඩිවීමේ ප්‍රමාණය රජය තීන්දු කළේය.

වත්මන් රජය මේ වන විට එක් අවස්ථාවකදී ඉන්ධන මිල ගණන් පහත දමා ඇති අතර එක් අවස්ථාවකදී ඉන්ධන මිල වැඩි කළේය. පසුගියදා රජය ඉන්ධන මිල වැඩිකරනු ලැබුවේ ලෝක වෙළෙඳ ‍පොළේ ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව සහ ඛනිජ තෙල් සංස්ථාවේ අධික අලාභය පියවා ගැනීමටය.කෙසේ වෙතත් ඉන්ධන මිල ගණන් සංශෝධනය සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බවට රජය විසින් ‍පොරොන්දු වූ අතර ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් එකී මිල සූත්‍රය මෙලෙස සකස් කර ඇත. මෙම මිල සූත්‍ර ක්‍රමවේදය වඩාත් විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීම සඳහා භාණ්ඩාගාරයේ සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත මිල කමිටුවක් ස්ථාපනය කිරීමටත්, එම කමිටුව සෑම මාස 3 කට වරක් එළඹෙන 5 වන දිනයේ මෙලෙස ඉන්ධන මිල ගණන් යාවත්කාලීන කිරීමටත් කැබිනට් අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව එළඹෙන අගෝස්තු 11 දා සිට මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක වනු ඇත.මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එම අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.