දකුණේ තවත් කිරිකැටියන් දෙදෙනෙකු මරු තුරුලට..!රජයේ වියදමින් පුද්ගලික රෝහල්වල දැඩිසත්කාර ඒකක ලබා දෙන්න නියෝග..

දකුණේ තවත් කිරිකැටියන් දෙදෙනෙකු මරු තුරුලට..!රජයේ වියදමින් පුද්ගලික රෝහල්වල දැඩිසත්කාර ඒකක ලබා දෙන්න නියෝග..
Spread the love

මේ වන විට දකුණු පළාත පුරා පැතිර යන ඉන්ෆ්ලූඑන්සා රෝග තත්වය හේතුකරගෙන මියගිය දරුවන්ගේ සංඛ්‍යාව 11ක් දක්‌වා ඉහළ ගොස්‌ ඇති බව කරාපිටිය ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය ජයම්පති සේනානායක පවසනවා.

කෙසේ වෙතත් මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලතුල පවතින අඩුපාඩුකම් හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන්ට රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් වීමට නොහැකි තත්ත්වයක්ද පවතින බවයි වාර්තා වෙන්නේ. මේ හේතුවෙන් රෝගීන් වෙනත් රෝහල්වලට මාරුකර යැවීමටද කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇති වී තිබෙන මෙම තත්වයට විසඳුම් ලබා දී ඇති පැවසූ   විෂයභාර අමාත්‍ය රාජිත සේනාරත්න  ‘‘දැනට මම සෞඛ්‍ය ලේකම් වරයාට නියෝග කරා වහාම දකුණු පළාතේ තියෙන  පුද්ගලික රෝහල් වල තිබෙන දැඩිසත්කාර ඒකකක රජයේ වියදමින් ඒ දරුවන්ට ලබා දෙන්න කියලා. ඒ වගේම අපි කොළඹ ළමා රෝහලටත් ඒ දරුවන් ගෙන එන්න කටයුතු කලා‘‘ යනුවෙන් ප්‍රකාශ කල අතර වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වාර්තාවලට අනුව මෙම රෝග තත්ත්වයට වෛරස්‌ ඛාණ්‌ඩ 4 ක්‌ හේතු වන බව සඳහන්. මෙහි රෝග කාරකය ලෙස නියුමොකොකල් වෛරසය, ඇඩිනො වෛරසය ,රෙස්‌පිරේටරි සින්සිටියල්  සහ ඉන්ෆ්ලූඑන්සා  වෛරසය හඳුනා ගෙන තිබෙනවා. 

කෙසේ වෙතත් මෙම රෝග තත්වය පැතිරෙන ආකාරය පිළිබඳව අවබෝධය ලබා ගනිමින් ප්‍රවේශම් වීම ඉතාමත් වැදගත් වනවා. මෙම රෝගය පැතිරීම  පුද්ගලයකුගෙන් වෙනත් පුද්ගලයකුට කිවිසුම් මගින්, කැස්‌සෙන් හෝ ස්‌පර්ශ කිරීමෙන් සිදුවිය හැකියි. එමනිසා කැස්‌ස හෝ කිවිසුම් යැම ඇතිවිට පිරිසිදු ලේන්සුවක්‌ හෝ මුඛ ආවරණයක්‌ භාවිතා කිරීම, රෝගියෙකු ස්‌පර්ශ කළ පසු සබන් හෝ විෂබීජ නාශකයක්‌ යොදා අත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු ඇතිකර ගැනීම තුළින් මෙම රෝගය පැතිරී යැම වළක්‌වාගැනීමට හැකි අතර විශේෂයෙන්ම කුඩා දරුවන්, ගර්භණී මව්වරුන්, කිරිදෙන මව්වරුන්, වයස්‌ගත උදවිය, පිළිකා සහ වකුගඩු රෝගී තත්ත්වයන් ඇති රෝගීන් , දියවැඩියා රෝගීන් සහ හෘදයාබාධ රෝගීන් , වඩාත් පහසුවෙන් මෙම රෝගයට ගොදුරු විය හැකි අතර අවුරුදු 5-18 දක්‌වා වයස කාණ්‌ඩයේ සිටින අය සඳහා මෙම රෝගයට වැඩි වශයෙන් ගොදුරු වීමේ හැකියාව පවතිනවා.

මෙම රෝගයේ රෝග ලක්‌ෂණ එක්‌වරම මතුවන අතර තද සීතල සහ ඇඟ වෙව්ලීම සමග උණ හට ගැනීම, හිසරදය, වියළි කැස්‌ස , පපු පෙදෙසෙහි වේදනාව, උගුරේ ආසාදනයන් ඇති වීම නිසා වීම නිසා ගිලීමේ අපහසුතාවයන් කුඩා දරුවන්ට ඇතිවීමේ හැකියාවක්ද පවතිනවා. කුඩා දරුවන් සහ වයස්‌ගත වැඩිහිටියන්ට හුස්‌ම ගැනීමේ අපහසුතාවයන්ද ඇති වන අතර  අධික මහන්සිය, තෙහෙට්‌ටුව සහ නින්ද නොයැම වැනි රෝග ලක්‌ෂණද ඇති වේ.

එසේම අද (28දා) සෞඛ්‍ය අංශ සිදුකිරීමට නියමිත සාකච්ඡාවකින් පසුව ඉන්ෆ්ලුවන්සා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමටද කටයුතු කරන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කරන ලදී.

මෙහිදී වැඩිම බලපෑමක් ඇති රෝහල් කාර්ය මණ්ඩල සහ වැඩි වශයෙන් මෙම රෝගය ව්‍යාප්ත වී ඇති පෙදෙස්වලට එම එන්නත ලබාදීම සම්බන්ධයෙන් එහිදී තීරණයක් ගන්නා බවයි අධ්‍යක්ෂවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.