ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර දීර්ඝ කාලයක් පැවැති මතභේදවල ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට ට්‍රම්ප් පාලනය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම වාර්තාවල දැක්වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වන බව ට්‍රම්ප් පාලනය විසින් ඊයේ (7) ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත දන්වා ඇති බවයි.
මෙම ඉල්ලා අස්වීම ලබන, 2021 වසරේ ජූලි මාසයේ සිට බලාත්මක වන බවයි විදෙස් මාධ්‍ය කියන්නේ.
නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සත්‍ය වසන් කළ බවටත් එම සංවිධානය චීනයේ අතකොළුවක් වී ඇති බවටත් ඇමෙරිකානු ජනාධිපතිවරයා දිගින් දිගටම චෝදනා කළා.
ට්‍රම්ප් විසින් මෙම තීරණය සම්බන්ධයෙන් ද්වීපාර්ශවික නීති සම්පාදකයන්, වෛද්‍ය සංගම්, නීතීඥ සංවිධාන සහ විදේශයන්හි සිටින මිත්‍ර පාක්ෂිකයන්ගෙන් දැඩි විවේචන එල්ල වී ඇති බව ද සදහන්.
මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කරගැනීමට ගත් තීරණය තමා ජනාධිපති ධුරයට පත් වූ වහාම වෙනස් කරන බව ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් ඊයේ (7) පැවසුවා.
තමා ජනාධිපති ධුරයට පත්වුවහොත් ‘‘පළමු දිනයේදීම’’ එම තීරණය වෙනස් කරන බවයි බයිඩන් සදහන් කළේ.