දින පහට දුම්රියට කෝටි 10ක පාඩුවක්‌

දින පහට දුම්රියට කෝටි 10ක පාඩුවක්‌
Spread the love

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ඊයේ (12) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු දුම්රිය වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව දුම්රිය මෙහෙයුම් අධීක්‍ෂණ කළමනාකරණ වෘත්තීය සමිති සන්ධානය පවසයි. 
 
 දැනට අත්හිටුවා තිබෙන අමාත්‍ය මණ්‌ඩල තීරණය වහාම ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපතිවරයා අදාළ අංශවලට නියෝග කිරීමෙන් පසුව මේ තීරණයට එළැඹි බව එන්ජින් රියෑදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවැසීය.
 
 දුම්රිය වැඩවර්ජනය අවසන් කිරීමට ජනාධිපතිවරයා විසින් ඊයේ සාකච්ඡාවක්‌ ලබාදීමට එකඟවීම නිසා දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් ඊයේ අලුයම වෑන් රථ දෙකකින් පොළොන්නරුවේ ජනපති නිවසට ගොස්‌ පැය එකහමාරක පමණ කාලයක්‌ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇත.
 
 එහිදී ජනාධිපතිවරයා දුම්රිය බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට වෘත්තීය සමිතිවලට වේලාවක්‌ වෙන්කර දීමට උත්සාහ කළද ජනාධිපතිවරයාගෙන්ම විසඳුමක්‌ ලැබීම නිසා දුම්රිය බලධාරීන් සමඟ සාකච්ඡාවක්‌ නොපැවැත්වූ බවද ඒ මහතා කීය. ජනාධිපතිවරයා සහ දුම්රිය වෘත්තීය සමිති අතර සාකච්ඡාව සම්බන්ධීකරණය කර ඇත්තේ මාධ්‍යවේදියකු විසිනි.
 
 මේ සාකච්ඡාව සඳහා දුම්රිය අධීක්‍ෂණ කළමනාකරණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ලාල් ආරියරත්න, දුම්රිය එන්ජින් රියෑදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ, දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් ජී. එම්. ජී. පීරිස්‌ යන මහත්වරුන් ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයෝ පිරිසක්‌ සහභාගි වූහ.
 
 වැඩවර්ජනය අවසන් වීමත් සමඟ තැපැල් දුම්රිය ධාවනය ඊයේ රාත්‍රි සිට ආරම්භ කිරීමට පියවර ගත් බවත් සෙසු දුම්රිය ධාවනය අද (13) පෙරවරුවේ සිට සාමාන්‍ය පරිදි සිදුකරන බවත් දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කළහ. 
 
 මේ අතර දුම්රිය සේවකයන් දින පහක කාලයක්‌ සිදුකළ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 100 කට (කෝටි 10 කට) අධික පාඩුවක්‌ සිදුවී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ ඊයේ (12) පැවැසීය.
 
 මීට අමතරව කුපිත වූ දුම්රිය මගීන් කොටුව දුම්රිය ස්‌ථානයට පහරදීමෙන් රුපියල් ලක්‍ෂ ගණනක හානියක්‌ සිදුවී ඇතැයි ද හෙතෙම කීය.
 
 දුම්රිය රියෑදුරන්, ස්‌ථානාධිපතිවරුන්, හා පාලකවරුන් ඇතුළු දුම්රිය ක්‍ෂේත්‍ර කීපයක වෘත්තිය සමිති පූර්ව දැනුම් දීමකින් තොරව ඉකුත් 8 දා සිට මෙම අඛණ්‌ඩ වැඩ වර්ජනය ආරම්භ කර තිබිණි.
 
 මගී සහ භාණ්‌ඩ ප්‍රවාහනව මෙන්ම ගමන් සේවා කීපයකින් ලැබෙන මුදල් පවා මෙම වර්ජනය හේතුවෙන් අහිමි වූ බව හෙතෙම කීය.
 
 සාමාන්‍යයෙන් දිනකට දුම්රිය ගමන් වාර 300 කට ආසන්න ප්‍රමාණයක්‌ සිදුවන බවත්, එමගින් ලක්‍ෂ 5 කට අධික මගීන් පිරිසක්‌ දිනපතා දුම්රියේ ගමන් පහසුව සලසාගන්නා බවත් හෙතෙම කියා සිටියේය.