ධීවරයට මෙන්ම පාරිභෝගිකයාටද සාධාරණය ඉටු කරන්න – ජනපති අවධාරණය කරයි

ධීවරයට මෙන්ම පාරිභෝගිකයාටද සාධාරණය ඉටු කරන්න – ජනපති අවධාරණය කරයි
Spread the love

ධීවර කර්මාන්තය රැක ගනිමින් පාරිභෝගිකයාට ද සාධාරණ මිලකට මාළු ලබා ගැනීමට අවස්ථාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. බහුදින ධීවර යාත්‍රා හිමියන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳව  අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනපතිවරයා මේ උපදෙස් දුන්නේය.

අපනයන වෙළෙඳ පොළ පිළිබඳ ප්‍රතිපත්තිමය පදනමක සිට  නව සැලසුම් සකස් කිරීමේදී අපනයනකරුවාත්, ධීවර යාත්‍රා හිමියාත් ඇතුළත් කමිටුවක් මගින් ක්‍රියා කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය. නීති විරෝධි ක්‍රමවලින් මසුන් ඇල්ලීම නතර කිරීමට වහා පියවර ගැනීමට ද උපදෙස් දෙනු ලැබීය.

අපනයන සමාගම් මිලදී  ගන්නේ ඔවුන්ගේ නැව් මඟින් සපයා ගන්නා මත්ස්‍ය අස්වැන්න පමණක් බව ධිවර සමිති නියෝජිතයෝ කියා සිටියහ. තමන් අපනයනය සඳහා පමණක් කර්මාන්තයේ නිරතව සිටින බැවින් තම අස්වැන්නට නිසි වෙළඳ පොළක් නොමැතිවීම බලවත් ගැටළුවකැයි ඕව්හු  පෙන්වා දුන්හ.

කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් මගින් මේ ගැටලුව විසඳීමට බලධාරීන්ට කියා සිටි ජනාධිපතිවරයා අපනයනකරුවන්ගේ මෙන්ම යාත්‍රා හිමියන්ගේ ද සහභාගිත්වය ඇතිව අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් දුන්නේය. බහුදින ධීවර යාත්‍රා හිමියන් මුහුණදී ඇති ගැටලුවට තාවකාලික විසඳුමක් ලෙස පෞද්ගලික අංශයේ ද සහාය ඇතිව ඔවුන්ගේ අස්වැන්න මිලදී ගැනීමට මැදිහත්වන්නැයි ජනාධිපතිවරයා ධීවර සංස්ථාවේ සභාපතිවරයාට පැවසීය.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, සනත් නිශාන්ත පෙරේරා, කාංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරු,  ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාශයේ ලේකම් ආර්.එම්.අයි. රත්නායක සහ  යන මහත්වරු ඇතුළු පිරිසක් සාකච්ඡාවට සහභාගී වූහ.