කාන්තාවන්ට හිංසා කළ බවට චෝදනා එල්ල වූ ඇමෙරිකා එක්‌සත් ජනපදයේ නිව්යෝක් නීතිපති එරික් ෂෙනී ඩර්මන් සිය තනතුරින් ඉල්ලා අස් වී තිබේ.
“ද නිව්යෝකර්” සගරාව මගින් නීතිපතිවරයාට එරෙහිව චෝදනා හෙළි කර තිබිණි.
කාන්තාවන් සිව් දෙනකු මෙම චෝදනාව කළ අතර එයින් දෙදෙනකු නීතිපතිවරයාගේ හිටපු පෙම්වතියන්ය.
හැට තුන් හැවිරිදි නීතිපතිවරයාගේ පෙම්වතියන් දෙදෙනා පවසන්නේ ඔහු තමන්ට පහර දුන් බවය.
එහෙත් නීතිපතිවරයා පවසන්නේ පහර දීමක් සිදු නොවූ බවත්, ඔවුන් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වූයේ ඔවුන්ගේ කැමැත්ත මත බවයි.
මෙම හෙළිදරව් කිරීමෙන් පසු නිව්යෝක් ආණ්‌ඩුකාර ඇන්ඩෘ කුමෝ විසින් තනතුරින් ඉල්ලා අස්‌වන ලෙස නීතිපතිවරයාට දන්වන ලදී.
“කිසිවකු නීතියට උඩින් නැහැ. නිව්යෝක් නගරයේ ඉහළම නීති නිලධාරියාටත් එය එලෙසමයි” යනුවෙන් ආණ්‌ඩුකාරවරයා පවසා තිබේ.
නීතිපතිවරයාගේ එක් පෙම්වතියක් වන ටාන්යා සෙල්වරත්නම් ශ්‍රී ලාංකික තරුණියකි.
ඇය ගත්කතුවරියක, නිළියක මෙන්ම අධ්‍යක්‌ෂවරියක ද වන්නීය.
තමන් හැර ගියහොත් ඇය මරා දමන බවට නීතිපතිවරයා තර්ජනය කළ බව ද බොහෝ අවස්‌ථාවල තමන්ට පහර දුන් බව ද ටාන්යා සෙල්වරත්නම් පවසා තිබේ.
ඇය නිව්යොර්ක් පෝස්ට් වෙබ් අඩවියට සඳහන් කර ඇත්තේ මෙවැන්නක්.
“ඔහු මාව දුඹුරු වහලිය ලෙස හැඳින්වූවා. මාව ලිංගික වහලියක් ලෙස භාවිත කළා. නිදන කාමරයේ දී මට බොහෝ ලිංගික හිංසනවලට මුහුණ දෙන්නට සිදු වුණා. ලිංගිකව හැසිරෙන අතරතුරේ ඔහු නොනවත්වා මට පහර දුන්නා. එමෙන්ම ඔහු සහ තවත් පිරිමියෙකු සමග එකට ලිංගිකව හැසිරෙන්නටත් මට බල කළා.”

