පාකිස්ථානයේ පිහිටට චීන-සවුදි ඒකාබද්ධ ආර්ථික මෙහෙයුමක්

පාකිස්ථානයේ පිහිටට චීන-සවුදි ඒකාබද්ධ ආර්ථික මෙහෙයුමක්
Spread the love

අමෙරිකානු ඩොලර් බිලියන 10 ක් වටිනා ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සවුදි අරාබිය කැමැත්ත පළ කර ඇති බව පාකිස්ථාන බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙම ඉන්ධන පිරිපහදුව පාකිස්ථානයේ ග්වාඩාර් වරාය ආශ්‍රීතව ඉදිකිරීමට නියමිත බව වාර්තා වේ.

පාකිස්ථානය මුහුණපා සිටින ආර්ථික අවපාතයෙන් ගොඩ ඒම සඳහා දීර්ඝ කාලින ආයෝජනයන් සඳහා සවුදි අරාබිය සමග මෙවැනි ගිවිසුමකට යොමුවී ඇත. ඉකුත් වසරේදී සවුදි රජය විසින් අමෙරිකානු ඩොලර් බිලියන 06ක් වටිනා ඉන්ධන ලබා ගැනීමේ සහන පැකේජයක් ද පාකිස්ථානයට ලබා දෙනු ලැබීය.

චීන-පාකිස්ථාන සහයෝගිතාවය තුල මෙම ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානය ඉදිකිරීමෙන් පාකිස්ථානයේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සවුදි රජය බලාපොරොත්තු වන බව සවුදි බලශක්ති අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටින ලදී.

මෙම ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානය ඉදිකිරිම සම්බන්ධයෙන් වන ගිවිසුම අත්සන් තැබීම සඳහා සවුදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ලබන පෙබරවාරි මාසයේදී පාකිස්ථානයට පැමිණීමට බලාපොරොත්තුවන බව සවුදි බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කල අතර ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානයට අමතරව පාකිස්ථානයේ වෙනත් අංශ ඉලක්ක කර ගනිමින් ඉදිරියේදී සිය ආයෝජනයන් සිදු කිරීමට නියමිත බව සවුදි රජය මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

මිට අමතරව චීනය විසින් පාකිස්ථානයේ විදුලි බලාගාර, අධිවේගී මාර්ග පද්ධති, නව හා වැඩිදියුණු කරන දුම්රිය මාර්ග සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් වරායන් ඉදිකිරිම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 60ක් වටිනා නව ගිවිසුමකටද පාකිස්ථානය සමග එළැඹ ඇත..

ඉකුත් වසරේදී බලයට පත්වූ පාකිස්ථානයේ නව අගමැති ඉම්රාන් ඛාන් රටේ ආර්ථිකය වැඩිදියුණු කිරීම සඳහා සවුදි අරාබිය සහ චීනයෙන් ආර්ථික පැකේජ ලබා ගැනීම සිදුකරනු ඇති බව සඳහන් වේ