පෙරහරේ අලියාට බිලිවූ කටානේ හාමුදුරුවෝ – සම්පුර්ණ කතාව මෙන්න..

Spread the love

පොසොන් සමය කෙමෙන් ගෙවී යමින් පවතී. එහෙත් ජුනි 11 ඉරිදා දින කටාන ප්‍රදේශයේ ජනතාව උද්‍යෝගිමත්ව අලුයම පිබිදුණේ තම ප්‍රදේශය ඔස්සේ 8 වැනි වරටත් ගමන් ගන්නා විචිත්‍ර පොසොන් මහා පෙරහර දැක බලා ගැනීමේ භාග්‍යය එදින උදාවන නිසාය. මේ සඳහා ප්‍රදේශයේ ජනතාව මෙන්ම විශේෂයෙන් ප්‍රදේශයේ තරුණ පිරිස ඉතා උද්‍යෝගිමත්ව කටයුතු කරමින් සිටියහ. පෙරහර ගමන් ගන්නා මාර්ගය දර්ශනීය ආකාරයෙන් සරසා තිබූ අතර, මෙම පෙරහරට සහභාගිවීම සඳහා අලි ඇතුන් 5 දෙනකුද මේ වනවිට පෙරහර ආරම්භ කරන කටාන මංසන්ධිය අසල ඇති වතුවල බැඳ දමා තිබුණි.

පෙරහරට සහභාගිවන්නන්ට සංග්‍රහ සත්කාර කිරීමට මග දෙපස දන්සැල් කීපයක්ම සූදානම් කළේ ඉතා යුහුසුළුවය. 11 වන ඉරිදා කාලය කෙමෙන් ගෙවී යන්නට විය. කටාන පොසොන් පෙරහර ආරම්භ කිරීමට නියමිත වෙලාවද ආසන්න වෙමින් පැවතුණි. සවස 6.00ට පමණ මෙම පෙරහර ආරම්භ කිරීමට සංවිධායකවරුන් තීරණය කර තිබුණද, මෙම සංවිධාන කටයුතුවලදී මතු වී ආ යම් යම් ගැටලු නිසා මෙම පෙරහර ආරම්භ කිරීම රාත්‍රී 7.30 දක්වා පසුපසට ඇදී ගොස් තිබුණි.
අලි ඇතුන් 5 දෙනකු පිරිවරා ගත් කටාන පොසොන් පෙරහර ඒ ආකාරයට රාත්‍රී 7.30ට පමණ තම ගම් පියස වටා වූ මාර්ගය ඔස්සේ වීදි සංචාරය කිරීම ආරම්භ විය. නැටුම් කණ්ඩායම්, සංවිධායකවරුන්, අලි ඇතුන් මෙන්ම කටාන ශ්‍රී වර්ධනාරාම මහා විහාරයේ භික්ෂුන් වහන්සේලාත් මෙම පෙරහරට සහභාගි වී සිටියහ, ප්‍රදේශවාසී ජනතාව දහස් ගණනින් මාර්ගය දෙපස රැස් කමින් පෙරහර නරඹන්නට සැදී පැහැදී සිටියහ. 6/11 දින මධ්‍යම රාත්‍රිය පසුවී 6/12 දින උදාවෙමින් තිබුණි. ඒ වනවිට 6/12 දින අලුයම 12.30ට ආසන්න වෙමින් තිබුණි. පෙරහර ඒ වනවිට කටාන මරිය රාජනී විද්‍යාලය සමීපයට පැමිණ තිබුණි. එම ප්‍රදේශය කටාන ගුහාව පල්ලිය අසල ප්‍රදේශයයි. තවත් දන්සලක් ඒ අසල තිබූ අතර, එහි කිරිබත් සූදානම් කර තිබුණි. එම දන්සල කොළ පැහැ අමු පොල් අතුවලින් සරසා තිබුණි. ඒ දන්සැල අසල ශ්‍රී වර්ධනාරාමය මහා විහාරයේ කුළසැන්දෑවේ රාහුල හිමි සිටියහ. ඒ වනවිට කටාන පොසොන් පෙරහර එම ස්ථානයට ළඟා වී තිබූ අතර “මැණිකා” කෙනෙරද එම දන්සල අසලින් ගමන් කරමින් සිටියාය. එකවරම මැණිකා කෙනෙර කුළසැන්දෑවේ හිමියන් තම ඉදිරිපස පාද දෙක අතරට ඇද ගත් අතර, ඒ සමඟ භික්ෂුන් වහන්සේ බිම ඇද වැටුණි. ශ්‍රී වර්ධනාරාමය විහාරයේ කුළසැන්දෑවේ රාහුල හිමි ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබා අපවත් වූහ.

මෙවන් සිදුවීම් ශ්‍රී ලංකාවේ දුර බැහැර අලි ඇතුන් ගහන ප්‍රදේශවල සුලභ සිද්ධීන් වුවද, බස්නාහිර පළාතේ මෙතරම් ජනාකීර්ණ ප්‍රදේශයක දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ ගමන් ගන්නා පෙරහරක හස්තියෙකුගේ ප්‍රහාරයකට විශේෂයෙන් හිමිනමක් භාජනය වීම ඉතාමත් විරල සිදුවීමකි.

රාහුල හිමියන්ගේ දේහය ශ්‍රී වර්ධනාරාම මහා විහාර මන්දිරයේ ප්‍රධාන සාලය තුළ තබා තිබූ අතර, එම දේහයට සිව් දිශාවෙන් එම විහාරයේ දහම් පාසලේ ඉගෙනුම ලබන ජ්‍යෙෂ්ඨ සිසුන් සිව් දෙනෙක් මුරායුධ අතැතිව, නමා ගත් හිසින් යුතුව දේහය අසල රැඳී සිටියහ.

ශ්‍රී වර්ධනාරාමය මහා විහාරයේ නායක කරඹේ සුමන හිමියන් එම විහාර මන්දිරයේ පිටුපස ශාලාවක අසුන් ගෙන සිටියහ. මේ සිද්ධිය පිළිබඳව උන්වහන්සේ මෙසේ පැවසූහ.

මේ අපවත් වෙලා ඉන්නේ මගේ පළමු සහ ප්‍රධාන ගෝලයා. ඒ වගේම මගේ එක කුසේ උපන් අක්කගෙ පුතා. අක්කට දරුවො තුන් දෙනයි. ඔවුන් යාපහුව, කරඹ, කුළසැන්දෑව ගමේ පදිංචි කරුවන්. මේ රාහුල හිමියන්ගේ වයස අවුරුදු 26යි. උන්වහන්සේ කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන, දැන් යළිත් එම විශ්ව විද්‍යාලයේම ශාස්ත්‍රපති පශ්චාත් උපාධිය ලබාගන්න ලියාපදිංචි වෙලා කටයුතු කරමින් සිටියේ. ඊට අමතරව කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාවකුත් පසුගිය වසරේ හදාරා තිබුණා. එයා හරිම ආසයි සංගීත විෂයයට. මගෙත් එක්ක කියා සිටියේ සංගීත විශාරද උපාධිය ගන්න ඕනෑ කියලයි. ප්‍රදේශයේ ආගමික වැඩසටහන්වලට කවි බණ කියනවා. උන්වහන්සේ හුදෙකලාව විවේකීව ඉන්න හරිම ආසයි. පොතට පතට හරිම ලැදියි. කවදාවත්ම බොරු කියන්නේ නැහැ. මොනම හේතුවකටවත් කේන්ති ගන්නේ නැහැ. රණ්ඩු වෙන්නෙ නැහැ. විශාල ඉවසීමක් උන්වහන්සේට තිබුණා.

අලියා නැමෙන කොට තමයි ඇත්ගොව්වා සිද්ධිය දැක්කේ

ඔය පෙරහරට අපේ පන්සල කිසිම සම්බන්ධයක් නැහැ. ඕක සංවිධානය කරන්නේ ඔය හන්දියේ තරුණ පිරිසක්. අපි උදව් කරන්නේ නැහැ. හැබැයි ඒ අය ඉල්ලුවා අපේ භික්ෂුන්වහන්සේලාට පෙරහරේ යන්න එන්න කියලා. අපේ පන්සලේ සියලු භික්ෂුන්වහන්සේලා එයට සහභාගී වුණා. ඒ විතරක් නෙමෙයි පෙරහරට අලි මදියි කියලා එයාලා මට කිව්වා. මම ගුරුගේ මහත්තයට කථා කරලා එයගෙ අලියා ලබාදීමට කටයුතු කළා.

මේ සිද්ධිය මගේ ඇහින් දැක්කෙ නැහැ. නමුත් ඒ සිද්ධිය දැකපු කෙනෙක් තමයි මට කිව්වේ. එයා කිව්වා එයා පෙරහරේ මැද ඔය කෙනෙරට පිටුපසින් එයාගෙ වාහනය ධාවනය කළා. ඔය කෙනෙර ගමන් කළේ එයාගෙ වාහනයේ ආලෝකයෙන්. එතකොට අපේ රාහුල හාමුදුරුවෝ රාත්‍රී 12.30ට විතර මරිය රාජිනී විද්‍යාලය අසල වතුර බෝතලයක් අතේ තියාගෙන හිටගෙන ඉඳලා තියෙනවා. කෙනෙර එකපාරටම අර වතුර බෝතලය ගන්න හාමුදුරුවෝ ඇදලා අරන් තියෙනවා. ඉස්සරහ කකුල් දෙක ගාවට ඇදල අරන් වතුර බෝතලය ගන්න හොඬවැලෙන් උත්සාහ කරත්දී හාමුදුරුවෝ වැටිලා තියෙනවා. එතකොට කෙනෙරගෙ ඉස්සරහ කකුලට හාමුදුරුවෝ පෑගෙන්න යනකොට, කෙනෙර කකුල අයින් කරගෙන තියෙනවා. ඒත් යන්තමට කෙනෙරගෙ කකුල හාමුදුරුවන්ගේ පපුවේ වැදිලා තියෙනවා. ඒ එක්කම ඇත්ගොව්වා හයියෙන් හෙණ්ඩුවෙන් ඇදලා කෙනෙරව අයින් කරලත් තියෙනවා.

ඒ සමගම නැට්ටුවෝ හාමුදුරුවෝ උස්සලා පොලිස් ට්‍රැපික් කාර් එකට දාලා මීගමුව මහ රෝහලට අරන් ආව. ඒ එන අතරේ ඒ කාර් එකේ හිටපු පොලිස් නිලධාරියකුගෙන් හාමුදුරුවෝ අහලා තියෙනවා අයියේ මං මැරෙයිද කියලා. එතකොට මමත් පෙරහර බලලා ආපසු පන්සලට එන්න කාර් එකට නැගලා හිටියෙ. මමත් කෙලින්ම මීගමුව රෝහලට ආවා. මම රෝහලට එනකොට වෛද්‍යවරුන්, හෙදියන් වට කරගෙන ප්‍රතිකාර කරනවා. මම කිව්වා අවශ්‍ය දෙයක් තියෙනවා නම් කීයක් ගියත් කමක් නැහැ. මම ගේන්නම්. මට හාමුදුරුවෝ බේරලා දෙන්න කියලා රාහුල හාමුදුරුවෝ මගේ අත තදින් අල්ලා ගත්තා. මම පිරිත් කියන්න පටන් ගත්තා. වෛද්‍යවරු ලේ දුන්නා. සේලයින් දුන්නා. හාමුදුරැවෝ බේරාගන්න උපරිම උත්සාහ කළා.
මං දැක්කා හාමුදුරුවන්ගේ පපුව ප්‍රදේශයේ අලියගෙ දූවිලි තැවරුණු කකුල් පාර තියෙනවා. ඒ වගේම හාමුදුරුවන්ගේ දකුණු කකුලෙ කලවා ප්‍රදේශයේ පොඩි සීරීම් පාරවල් කීපයක් තිබුණා.ඒ අර වතුර බෝතලය උදුරා ගන්න අලියා උත්සාහ කළ වෙලාවෙදි ඇති වුණ සීරීමක් වෙන්න ඇති. මං දැක්කා හාමුදුරුවන්ගේ උදරය ප්‍රදේශය ක්‍රමයෙන් පිම්බී ගෙන එනවා. ඒ පපුවට ලේ බහිනවා වෙන්න ඇති. සුළු මොහොතකින් ඔක්කොම ඉවර වුණා. රාහුල හාමුදුරුවෝ මීගමුව මහ රෝහලේදී අපවත් වුණා. මම මේ අලියා පිළිබඳව විස්තර දන්නේ නැහැ.

මෙම සිද්ධිය පිළිබඳව රටේ නීති ක්ෂේත්‍රයට සම්බන්ධ ඉහළ තනතුරක් දැරූ පුද්ගලයකු සඳහන් කළේ මෙවැනි කරුණු රැසකි.

මේ අලියා මද කිපිලා ඉඳලා තියෙන්නෙ. ඒ වගේම මේ පෙරහරට එන්න පෙර එක දිගට පෙරහර 5 කට ගිහිල්ලයි මේ පෙරහරට ඇවිත් තියෙන්නෙ. කකුල් හතරටම විලංගු දාලයි ඉඳලා තියෙන්නෙ. ඒ වගේම ඇත්ගොව්වාත් බීලයි ඉඳලා තියෙන්නෙ. අලියට ඒ දින ගණනාවක ඉඳලා හරිහමන් කෑමක් ලැබිලා නැහැ. මේ සිද්ධිය වෙලා තියෙන්නෙ අමු පොල් කොළවලින් හදාපු දන්සලක් ළඟදී. අලියා ඒ පොල් අතු කන්න උත්සාහ කරද්දී තමයි ඔය හාමුදුරැවෝ මේ සිද්ධියට මැදිවෙලා තියෙන්නෙ. ඇත්ගොව්වා අලියට හෙණ්ඩුවෙන් තදින් ඇනලා තමයි හාමුදුරුවෝ බේරාගෙන තියෙන්නෙ.

මේ හාමුදුරුවෝ රෝහලට ගෙනියන්න පැය එකහමාරක් පමණ කාලයක් ගතවෙලා තියෙනවා. පෙරහර සහ ඒ අවට පැවති අධික වාහන තදබදය නිසා හාමුදුරුවෝ කඩිනමින් රෝහලට ගෙනියන්න හැකිවෙලා නැහැ. මේ පහරදීමෙන් පස්සේ පෙරහර යළිත් පන්සල දක්වා නැටුම් ගැයුම් සමඟ පැමිණ තියෙනවා. ඒ වගේම පෙරහරට සහභාගි වූ අලි ඇතුන්ට අදාල පශු වෛද්‍ය නිර්දේශ වාර්තාද නොතිබුණු බවත් දැනගන්නට ලැබුණා.
මේ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ සුප්‍රකට ඇත් රජු නැදුන්ගමුවේ රාජා ඇතාගේ හිමිකරු හර්ෂ ධර්මවිජය මහතාගෙන් විමසූ විට කියා සිටියේ, අලි මේ දවස්වල පෙරහරට සම්බන්ධ වෙලා නිදි මරලා මහන්සි වෙලා. ඒ වගේම අලියගෙ වැරැදි පැත්තෙන් අලියා අසලින් ගමන් කරනවා. නැතිනම් අලියට අනවශ්‍ය විධියට සමීප වීමට උත්සාහ කරනවා. ඒ නිසා අලියා පහරදීමට පෙළඹෙනවා. ඒ වගේම කෙනෙරකට මද කිපීමේ තත්ත්වයක් ඇති නොවන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම පෙරහර සංවිධානය කළායැයි පැවසෙන කටාන පන්සල් හන්දිය තරුණ සමිතියේ සභාපති සමන් අනුරුද්ධ මහතාගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු මෙසේ කීය,

මේ පෙරහර 8 වැනි වරටයි සංවිධානය කරලා තියෙන්නෙ. මෙහි මූලිකත්වය අපේ කටාන ශ්‍රී වර්ධනාරාම විහාරය විසිනුයි දරනු ලබන්නේ. අපේ සමිතියේ අනුශාසක පන්සලේ ලොකු හාමුදුරුවෝ. ඒ පිළිබඳව උන්වහන්සේගේ සීල් ගැසූ, අත්සන යෙදූ ලිපි ලේඛන ඕනෑතරම් අප සතුව තියෙනවා. එදා පෙරහර පටන්ගත්තේ පන්සලෙන්. මංගල හස්තිරාජයාට පෙරහර කරඬුව තැන්පත් කළෙත් නායක හාමුදුරුවෝ.

හාමුදුරුවෝ කීපසැරයක්ම අලියා ළඟින් එහාට මෙහාට ගිහින්

ඔය කෙනෙර මීරිගම ප්‍රදේශයේ. එයාට අපි රුපියල් 35,000/= ක් ගෙව්වා. කරඬුව වැඩමවූ රිදී විහාරයේ ඇතාට අපි රුපියල් 45,000/= ක් දුන්නා. මේ අලි ගෙනාපු දා ඉඳන්ම රාහුල හාමුදුරුවෝ ඇතුළු පිරිස අලි සමීපයෙමයි සිටියේ. උන්ට කන්න බොන්න පවා දුන්නා. එදා පෙරහර දා හාමුදුරුවෝ ඇඳලා හිටියෙ කොළ පාටට හුරු දුඹුරු පාට සිවුරක්. ඔය සිද්ධිය වෙනකොට මම හිටියෙ මීටර් 50 ක පමණ දුරින්. හාමුදුරුවෝ ළඟ වතුර බෝතලයක් තිබුණෙ නැහැ. මේ සිද්ධිය වුණේ සාන්ත අන්තෝනි මාවතේ මරිය රාජිනී විද්‍යාලය ඉදිරිපිටදී. එතකොට වෙලාව රාත්‍රී 12.15 පහුවෙලා. හාමුදුරුවෝ කීපවිටක්ම අලියට සමීපව වාගෙ වම් පැත්තෙන් ඉස්සර වුණා එතකොටම අලියා හාමුදුරුවෝ ඇදලා ගත්තා. අලියා නැමෙන කොට තමයි ඇත්ගොව්වා සිද්ධිය දැක්කේ. මේ අලියා දිඹුලාගල ප්‍රදේශයේ පෙරහරකට සහභාගි වෙලයි මේ පෙරහරට ඇවිත් තියෙන්නෙ. මේ සිද්ධිය වුණාට පස්සේ පෙරහර නටන්නෙ නැතුව ඉක්මනින් පන්සලට ආවා. ඒක කිලෝමීටර් 2 ක තරම් දුරක්.

මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන්නේ මීගමුව කොච්චිකඩේ පොලීසියයි. එහිදී එම නිලධාරීහු මෙසේ ප්‍රකාශ කළහ.

මේ පෙරහරට අලි 5 ක් සම්බන්ධ වෙලා හිටියා. ඒ හැම අලියෙකුටම ඇත්ගොව්වන් දෙදෙනෙකු බැගින් සිටියත්, මේ අලියට සිටියේ එක් ඇත්ගොව්වෙකු පමණයි. මේක අහඹු සිදුවීමක්.

මේ කෙනෙරක්. නම මැණිකා. වයස අවුරුදු 38යි. මෙයාගෙ ඇත්ගොව්වා මීරිගම කණ්ඩලම පදිංචි 48 හැවිරිදි කංකානම ගමගේ චන්ද්‍රපාල. මේ ඇත්ගොව්වා මේ කෙනෙර බලාගන්න ඇවිත් සතියයි වෙන්නෙ. අපි මේ ඇත්ගොව්වා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළාම මේ මස 15 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන්න නියෝග ලැබිලා තියෙනවා. මේ අලියා මීට පෙරත් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු බවට වාර්තා තියෙනවා. ඒ පිළිබඳව පරීක්ෂණ කරන්න හිටපු ඇත්ගොව්වා සහ මේ අලියාගේ හිමිකරු පොලිසියට කැඳවා තියෙනවා. එදා මේ හාමුදුරුවෝ කීප විටක්ම පෙරහරේ විවිධ අවස්ථා වලදී මේ අලියගෙ වම් පැත්තෙන් අලියා පසුකරගෙන ගිහිල්ලා තියෙනවා. එහිදී තමයි මේ පහරදීම සිදුවෙලා තියෙන්නේ.

මේ සිද්ධිය පිළිබඳව කොච්චිකඩේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මකීර්ති මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ගුණරත්න, පොලිස් සැරයන් 33544 කරුණාරත්න, අධිකරණ පොලිස් සැරයන් 45557 වීරසිංහ, පොලිස් කොස්තාපල් 40290 රුවන් යන මහත්වරු පරීක්ෂණ පවත්වති.

[rns_reactions]