මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ඇතිවූ ජාතිවාදී ගැටුම්වලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වගකිව යුතු බවට කැබිනට් ප්‍රකාශක, රාජිත සේනාරත්න විසින් කරන ලද ප්‍රකාශය නිසා ඊයේ (8) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇතිවී ඇත.
අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා – ඊයේ පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා බරපතළ ප්‍රකාශයක් කර තිබෙනවා. එදා කිව්වා කුලියාපිටියේ කඩවලට ගිනි තියලා කියලා. ඒකට මන්ත්‍රීවරයෙක් සම්බන්ධයි කියලා. ඒත් පොලිසියට ඉහළින් ආපු බලපෑමක් නිසා ඔහුව නිදහස් කරලා කියලා. මේක සම්පූර්ණයෙන් අසත්‍යයි. කඩ ගිනි තියලා නැහැ.
සිද්ධි දෙකක් වී තිබෙනවා කොත්තු දමන කඩයක වීදුරුවකට පහරදීමක් වෙලා තිබෙනවා. ඒකට කිසිම මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන නැහැ. මේවා අසත්‍යයි. මේ අය ජාතිවාදය අවුස්‌සනවා. පොඩි ඡන්දයක් දිනලා මෙහෙම නම් ලොකු ඡන්දයක් දිනුවොත් කොහොමට සිටීද?
බන්දුල ගුණවර්ධන මහතා – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ගැන කියලා ප්‍රවෘත්ති දාලා. ජාතිවාදය අවුස්‌සන්නේ ආණ්‌ඩුව. මෙවැනි අවස්‌ථාවකට පත්වෙන්න එපා. රටක් ගිනි ගන්නකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිරේ දාන එකද කරන්නේ?
නලින් බණ්‌ඩාර මහතා – මහනුවර තිබෙන ජාතිවාදී අරගල වයඹට, කුරුණෑගලට ගේන්න උත්සහ ගෙන තිබෙනවා. මේවා මේ වීරවංශලා, ගම්මන්පිලලා වපුරපු ජාතිවාදී බීජ තමයි.
විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා – කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කැබිනට් තීන්දු ප්‍රකාශයට පත් කරන ගමන් මේ ප්‍රකාශය කර තිබෙනවා. රූපවාහිනියෙන් මමත් එය දැක්‌කා. මේ ගැටුම් සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනකු හවුල් වෙලා නම් ඔහු මේ නම් නොකියා කියන්නේ දේශපාලන හස්‌තයක් තිබෙන බවයි. මහනුවර සිද්ධිය පිළිබඳ අදිසි හස්‌තය හෙළිවෙයි කියලයි පුවත්පත් වාර්තා කර තිබෙන්නේ. ඒ නිසා මේවා ව්‍යංගයෙන් නොකියා පාර්ලිමේන්තුවට විස්‌තර ඇතුව කියන්න.
දිනේෂ් ගුණවර්ධන මහතා – 1983 කළු ජූලිය වෙලාවේ එජාපයේ අගමැති සහ ඇමැති මණ්‌ඩලය මේ පාර්ලිමේන්තුවේදී කිව්වේ මේ පිටුපස දේශපාලන හස්‌තයක් තිබෙනවා කියලා. ඒ නිසා වහාම ජනතා විමුක්‌ති පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්‌ට් පක්‍ෂය, නව සම සමාජ පක්‍ෂය, තහනම් කරනවා කියලා. ඒ පක්‍ෂවල නායකයන් මීගමුවේ බන්ධනාගාරයට ගෙනිච්චා. නමුත් මාස ගණනක් යැමට කලින් හෙළිවුණා. කළු ජූලිය ක්‍රියාත්මක කළේ එජාපයේ නායකයන් බවට.
ප්‍රශ්නයක් වෙන තැනකට යැමට මහජන නියෝජිතයන්ට අයිතියක් තිබෙනවා. ඒ නිසා වගකිවයුතු අය වෙනුවට වෙන අයගේ කරපිටට දාන්න එපා. අපි අපේ මන්ත්‍රීවරුන් ආරක්‍ෂා කර ගත යුතුයි. මේ බොරු චෝදනාවලින් අපේ මන්ත්‍රීවරු ආරක්‍ෂා කරන ලෙස කථානායක තුමාගෙන් ඉල්ලා සිටිනවා.
රෝහිත අබේගුණවර්ධන මහතා – රජයේ වගකීම වෙන්නේ තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ට ඇඟිල්ල දිගු කිරීමට පෙර මේ ගැටුම නිසා ඇතිවී තිබෙන දේවල්වලට විසඳුම් දීමයි. මේ පුවත්පතින් දෙන පණිවුඩය කුමක්‌ද? අලුත්ගම දර්ගා නගරයේදී මීට පෙර ඇතිවූ තත්ත්වය සමථයට පත් කරන්න අපිට පල්ලියට, පන්සලට යන්න වුණා. මේ ජාතිවාදී ගිනිදැල් නිවා දමන්න. එහෙම යන්න තිබෙන අයිතියත් නැති කරන්නද මේ හදන්නේ? මේ ගිනිගන්නේ මුළු මහත් ජාතියමයි. රාජිත සේනාරත්න කියන මේ කැබිනට් ප්‍රකාශකයා ටික කාලයකට හෝ ඉවත් කරන්න කියා මා ඉල්ලනවා.
අනුර දිසානායක මහතා – කැබිනට් ප්‍රකාශක තුමා කියපු මේ මන්ත්‍රීවරු කවුද කියලා රජය හෙළි කළ යුතුයි.
කථානායක – මේ පිළිබඳව පරීක්‍ෂණ කටයුතු කෙරෙනවා. ඒ වාර්තාවලින් පසුව කරුණු හෙළි කරනවා.
අනුර දිසානායක මහතා – ඒක තමයි පරීක්‍ෂණවලින් පසුවයි මෙවැනි දේවල් කිව යුත්තේ.
බන්දුල ගුණවර්ධන මහතා – අපි කුමන දේශපාලන මතිමතාන්තර දැරුවත් මේ සභාවේ මන්ත්‍රීවරු දෙදෙනකු ගැන ප්‍රශ්නයක් මතුවී තිබෙන නිසා කථානායකතුමාට වගකීමක් තිබෙනවා මේ ජාතිවාදී ගිනිදැල්වලට හවුල් වී තිබෙන මන්ත්‍රීවරු දෙදෙනා කවුද කියලා හෙළි කරන්න.
මන්ත්‍රීන් දෙදෙනෙකු ජාතිවාදී ගැටුම වලට වගකිවයුතු යයි රාජිතගේ ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
