මයෝපති රෝගය නිසා ඔත්පලව සිටියද අධ්‍යාපනයෙන් ජීවිතය ජයගන්න වෙරදරන චාමිනිගේ කතාව මෙන්න..

මයෝපති රෝගය නිසා ඔත්පලව සිටියද අධ්‍යාපනයෙන් ජීවිතය ජයගන්න වෙරදරන චාමිනිගේ කතාව මෙන්න..
Spread the love

Chamini Rathgamage පලවෙනි වතාවට මට කතා කලේ බුකියේ මම ලියන සටහන් බලලා. ඇයට මයෝපති රෝග තත්ත්වය නිසා ඇවිද යාමේ හැකියාව අහිමි වූ තරුණියක්. 1993 වසරේ ජූලි මාසේ 10 වැනිදා උපත ලබන ඇය කුඩා කාලේ ඉදන්ම ඇවිද ගියේ යම් යම් අපහසුතා සහිතව. අවුරුදු 12 වෙද්දි ඈ රෝද පුටුවට වැටෙනවා. ආයේ ඇවිද්දවන්න බැරිවෙයි. වෛද්‍යවරු කිව්වේ එහෙම. 

පාසල් අධ්‍යාපනය විටින් විට මඟහැරුනත් චාමිණි රත්ගම දේවපතිරාජයේ දී දක්ෂතා දක්වපු සිසුවියක්. දෑවුරුද්දක් තමන්ට වඩා බාල තමන්ගේ සොහොයුරියගේ උදව්වත්, පාසලේ අනෙකුත් සිසු සිසුවියන්ගේ උදව්වත්, ගුරුවරුන්ගේ ආශීර්වාදයත් මැද ඈ සාමාන්‍ය පෙල විභාගයට මුහුණ දෙන්නේ 2011 අවුරුද්දේ. “නංගි ඉස්කෝලේ ගේට්ටුව ගාව ඉදන් මාව වඩාගෙන පන්තියට ගියේ. හැමෝම උදව් කලා සර්. මම සාමාන්‍ය පෙල විභාගයට A සාමාර්ථ 09 ක් එක්ක පාස් වුණා. නංගිටත් A 9 ක් තිබුණා. මුළු පාසලේම එහෙම දක්ෂතාවක් පෙන්නුවේ ඒ අවුරුද්දේ අපි දෙන්නා විතරයි.”


චාමිනී එතැන් සිට සිය මුළු ධෛර්යම යොදවන්නේ වෛද්‍යවරියක් වීමටය. උපකාරක පන්තිවල ලෑලි බංකුවේ වාඩි වී සිට නිවසට පැමිණි පසු මුළු ගතම රිදුම් දුන්නද ඈ අත්හලේ නැත. අම්මාගේ තෙල් සාත්තුවෙන් ගතේ වේදනා නිවාගත් ඈ කෙසේ හෝ උසස් පෙළට මුහුණ දුන්නාය. ඈ 2015 වසරේ දී උසස් පෙල ප්‍රතිඵල ලෙස A සාමාර්ථයක් හා C සාමාර්ථ දෙකක් සමගින් සමත් වන්නීය. වෛද්‍ය විද්‍යාලයට පිවිසීමට එය ප්‍රමාණවත් නොවූවත් ආයුර්වේදය හැදෑරීමට ඈ සුදුසුකම් ලබන්නීය.

කොළඹ සරසවිය‍ට අනුබද්ධිත දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයට චාමිණී ප්‍රවේශ වන්නේ දහසක් බලාපොරොත්තු ඇතිවය. නමුත් ඇගේ වචනවලට අනුව සිහින දෙදරා යන්නට පටන් ගන්නේ එතැන් සිටය.“මුල ඉදලම ගොඩක් දෙනෙක්ට මාව කරදරයක් වුණා. සීනියර්ස්ලා දවසක් අපිව කැන්ටිමේ රදවගෙන දේශන ශාලාවට එන්න මිනිත්තු කීපයක් පමා වුණා කියලා මා ඇතුළු ලමයි කණ්ඩායමක් දේශන ශාලාවෙන් එලියට තල්ලු කලා. සීනියර්ස්ලා ඇවිල්ලා කෑ ගැහුවා මේ ළමයවවත් ඇතුලට ගන්න කියලා. නමුත් ඒ තීරණය ගත්ත මැඩම් කිව්වේ මෙයාට විශේෂයක් කරන්න බෑ කියලා. පාලනාධිකාරිය වුණත් මා දිහා බැලුවේ උඹ කොහොම ඕවා කරගන්න ද කියනවා වගේ හැගීමකින්. මාස 03 ක් යද්දි ඩිරෙක්ටර් කතා කරලා කෙලින්ම තාත්තට කියලා තිබුණා මෙයාව අරගෙන යන්න, මෙයාට පහසුකම් දෙන්න අපිට බෑ කියලා. මම අසනීප වුණු වෙලාවක විභාගේ පටන් ගත්තා. තාත්තා ඇවිත් ඉල්ලුවා විභාග දවස් ටිකේවත් අම්මව පොඩ්ඩක් හොස්ටල් එකේ තියන්න ඉඩ දෙන්න කියලා. ඒත් එයාලා කිව්වෙම මට විශේෂයක් කරන්න බෑ කියලා. මම විභාගෙට අමාරුවෙන් වාඩි වුණා. ඒ රාගම ඉදන් මගේ ඥාතියෙක්ගේ නිවසේ ඉදන් ඇවිල්ලා. එක දවසට ත්‍රීවීල් එකට යන්න එන්න රුපියල් 2000 ක්. ලිව්වේ එක පේපර් එකයි. ඒකටත් A මයිනස් පාස් එකක් තිබ්බා.ඒත් මට එපා වුණා සර්. එපා උනා නෙවෙයි එපා කලා. සමහර ලෙක්චරස්ලා පන්තිය මැද්දේ මාව ඉලක්ක කරගෙන කතා කිව්වා. සමහරු හිතාගෙන ඉන්නේ හැමෝටම මේවා කරන්න පුළුවන් කියලා. බලමුකෝ කරගන්න හැටි කියලා. මට ඉන්න පුළුවන් ද සර්. මම දමලා ගහලා එන්න ආවා.”

විල්මා රුඩොල්ෆ් 1960 වසරේ ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 ඇතුළුව ධාවන ඉසව් තුනක රන් පදක්කම්ලාභිනියයි. නමුත් ඈ උපත ලබන්නේ පෝලියෝ රෝගියෙකු ලෙසිනි. පාසලේ දී ඇයට හමුවන එඩ්වඩ් එස්.ටෙම්පල් නම් ගුරුවරයා විල්මාගේ දෙපා සමග නොව ධෛර්ය සමග ගනුදෙනු කිරීමේ ප්‍රතිඵලය ඈ තත්. 11 කින් මීටර් 100 තරගය අවසන් කල ලොව පලමු ක්‍රීඩිකාව බවට පත්වීමය. කරුමයට මේ ඇමරිකාව නොවේ. ඊටත් වඩා කරුමය නම්, ඒ සිදුවීමෙන් පසුව පවා ඇමරිකාව වසර 60 ක් පසුකර ඇතත්, ශ්‍රී ලංකාවේ අපි ගල් යුගයේ ජීවත් වීමය. චාමිනීලාගේ විශේෂ අවශ්‍යතා සහිත බව කරදරයක් වන්නේ එනිසා නොවේද?

“මම මානව හිමිකම් කොමිෂන් සභාවට ලිව්වා සර්. ඒගොල්ල කැම්පස් එකේ අයව කැදෙව්වා. බලධාරීන් එතැනදිත් කියන්න උත්සාහ කලා මට මේ කෝස් එක කරන්න අමාරුයි කියලා. ආබාධිත මම කොහොමද එග්සෑම් පාස් වෙන්නේ කියලා එතැනදි ඔවුන් තර්ක කලා. ඒත් මානව හිමිකම් කොමිෂන් සභාවේ තර්කය වුණේ සරසවි ප්‍රවේශයට කලින් සියලු වෛද්‍ය වාර්තා පරීක්ෂා කර බලලා නේද මාව ඇතුලත් කර ගත්තේ කියන එක. මං වගේ අයට පහසුකම් කැම්පස් ඇතුලේ නැති නම් ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි කැම්පස් එකේ ප්‍රශ්නයක් කියලයි කොමිෂන් එක කිව්වේ. මං වගේ ලමයි කැම්පස් යන්න එපා ද සර්? අපි ආබාධිතයි කියලා මැරෙන්ඩ ද? අඩුම තරමේ මං ගැන මේ මතුවෙච්ච තත්ත්වයෙන් වත්, අනාගතේ මං වගේ දරුවෙක්ට කැම්පස් එකක් ඇතුලේ මං මුහුණ දුන්න සිදුවීම් ඇති නොවී තියෙන්න ඕනේ. සර් එක්ක මං මේ ටික කිව්වේ ඒකයි.”

නැවතත් ආයුර්වේද ආයතනයේ උපාධිය හැදෑරීම චාමිනී ප්‍රතික්ෂේප කරන්නීය. ඇය කියන්නේ තමන්ට ඒ පරිසරයේ නැවත ගොස් ඉගෙනීම කල නොහැකි බවය. එබැවින් ඇය රුහුණු විශ්ව විද්‍යාලයේ වෙනත් පාඨමාලාවක් හැදෑරීමට ඉල්ලා ඇත. කොමිසම පසුගිය සතියේ දන්වා ඇත්තේ ඇයගේ ඉල්ලීම ඉටුවනු ඇති බවය. ඇගේ පාඨමාලාව රුහුණේ දැන් ආරම්භ වී ඇතත් ඇයට තවමත් කැදවීමක් නැත. විශේෂ අවශ්‍යතා ඇති චාමිනීට විශේෂ වේගයකින් සාධාරණය ඉටුවිය යුතු බව මගේ හැගීමය.

ඈ සිටියේ ඇද වැටුනු තැනකය. ඒ පිලිබද නැවත නැවතත් ස්මරණය කිරීමෙන් වැලකී ඵලදායී යමක නිරත වන ලෙස මා ඇගෙන් ඉල්ලීමක් කලෙමි. දැන් ඈ ලියන්නට පටන් ගෙන තිබේ. පලමු ලියවිල්ල ඈ මට පසුගිය දිනෙක එව්වාය. මා ඇගෙන් හොද ලියන්නියකගේ ලකුණු දකිමි. ජීවිතය බදුනක් බැවින් නිරන්තරයෙන් පුරවන්නැයි මා ඉල්ලීමක් කලෙමි. හිස් කිරීමට ඇතැමුන්ට අවශ්‍ය වූ දේ තමන්ගේ දිරියෙන් පිරවීමට ඈ තව තවත් උත්සාහ කරනු ඇත. ඈ බ්ලොග් ලිවීම ආරම්භ කර තිබේ. https://believeinyourselfcr.wordpress.com/ලින්ක් එකෙන් එයට යන්නැයි ද ඇය දිරිමත් කරන්නැයි ද ඉල්ලමි. මට චාමිණී දිනෙක වේදිකාවක් මත හිදිමින් මිනිසුන් දිරිමත් කරන අයුරු දැකීමට අවශ්‍යය. ඇය වැන්නියන් සිටිය යුත්තේ එවැනි වේදිකාවන් වල බව මම තරයේ විශ්වාස කරමි.

උපුටා ගැනීම Motivation.lk