මහින්දානන්දගේ නඩුව වෙන විනිසුරුවරයෙකු යටතේ ඉක්මනින් විභාග කිරීමට නියෝග

මහින්දානන්දගේ නඩුව වෙන විනිසුරුවරයෙකු යටතේ ඉක්මනින් විභාග කිරීමට නියෝග
Spread the love

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය රජයේ අමාත්‍යවරයකුව සිටියදී නීති විරෝධීව උපයාගත් මුදලින් කොළඹ කිංසි පාරේ නිවසක්‌ රුපියල් ලක්‍ෂ 270 කට මිලදී ගෙන ඇති බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම කොළඹ මහාධිකරණයේ අංක 5 දරණ උසාවියෙන් වෙනත් උසාවියකට මාරු කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (20) නියෝග කළේය. 

කොළඹ මහාධිකරණයේ අංක 5 දරන උසාවියේ දැනට නඩු විභාග කරන්නේ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වන අතර අභියාචනාධිකරණය ඊයේ කළ නියෝගයට අනුව මෙම නඩුව පිළිබඳ විභාගය කොළඹ මහාධිකරණයේම නඩු විභාග කරන වෙනත් මහාධිකරණ විනිසුරුවරයකු හමුවේ පැවැත්වෙනු ඇත.

මෙම නඩුවට ප්‍රමුඛත්වයක්‌ දී හැකිතරම් ඉක්‌මනින් විභාගය අවසන් කළ යුතු යයිද අභියාචනාධිකරණය නියෝග කළ අතර එම නියෝගය කළේ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගෙන් තමාට සාධාරණ හා අපක්‍ෂපාතී නඩු විභාගයක්‌ අපේක්‍ෂා කළ නොහැකි බව කියා සිටිමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොනු කළ ඇපැල් පෙත්සම හා ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයට මෙම නඩුව ගොනු කරන ලැබුවේ නීතිපතිවරයා විසින් වන අතර ඔහුට නීත්‍යනුකූලව ලැබුණු ආදායම් මාර්ගවලින් එම නිවස එතරම් විශාල මුදලකට මිලදී ගත නොහැකි බව පවසමින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුට එරෙහිව චෝදනා එල්ල කර ඇත. කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය සහ එස්‌. තුරෙයිරාජා මහතා හමුවේ මෙම ඇපැල් විභාගය පැවැත්විණි.

ජනාධිපති නීතිඥ පායිස්‌ මුස්‌තාපා අධිනීතිඥ කාංචන රත්වත්ත යන මහත්වරු, නීතිඥ සනත් විඡේවර්ධන මහතාගේ උපදෙස්‌ පිට මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි අතර ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ජනක බණ්‌ඩාර මහතා නීතිපති වෙනුවෙන් පෙනී සිටියේය.