මාතර රත්තරං කොල්ලයේ කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනා හඳුනා ගනී

මාතර රත්තරං කොල්ලයේ කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනා හඳුනා ගනී
Spread the love

මාතර නගරයේ ස්වර්ණාභරණ ආයතනයක් මංකොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාතාල කල්ලි සාමාජිකයකු වූ කොස්ගොඩ තාරක ඇතුළු සාමාජිකයන් තිදෙනා ඊයේ  (20) මාතර අධිකරණයේ පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී එම නඩුවේ සාක්කිකරුවන් දෙදෙනකු විසින් හඳුනාගන්නා ලදී.
මෙම හඳුනාගැනීමේ පෙරට්ටුව මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ. විතාරණ මහත්මියගේ නියෝග මත එහි වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ ෂර්ලි ජයවීර මහතා ඉදිරියේ පැවැත්විණි.

මෙම නඩුවේ සාක්ෂිකාරියක වූ එම ස්වර්ණාභරණ ආයතනයේ සේවිකාවට එම සැකකරුවන් කිසිවකු හඳුනාගැනීමට හැකි නොවීය.
එහෙත් මාතර ‍පොලීසියේ අපරාධ විමර්ශන ඒකකයේ ‍පොලිස් පරීක්ෂක එච්.ජේ.කේ.එන්.එස්. විජේරාම මහතාට සහ එහි ‍පොලිස් කොස්තාපල් සංජීව මහතාට අදාළ සැකකරුවන් තිදෙනාට හඳුනාගැනීමට හැකියාව ලැබුණි.

ඒ අනුව පාතාල නායක කොස්ගොඩ තාරක ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 24 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ. විතාරණ මහත්මිය ඊයේ (20) නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූයේ කොස්ගොඩ නානතොට නෙල්ලිගස් කැ‍ලේ පදිංචි ධර්මකීර්ති තාරක විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක සහ ඔහුගේ සොයුරකු වූ ධර්ම කීර්ති මධුක නිර්මාල් පෙරේරා, විජේසේකර නොහොත් කොස්ගොඩ මධුක සහ අනුරාධපුරදුටුවැව හිරන්දෙණිය ගෙදර අතුල කිත්සිරි කුමාර නොහොත් නාරම්මල මලා යන සැකකරුවන් තිදෙනාය.
මීට පෙර මෙම හඳුනාගැනීමේ පෙරට්ටුව පැවැත්වීමට අවස්ථා කිහිපයකදීම නියමිත තිබුණද විවිධ හේතුන් නිසා කල් දැමුණද ඊයේ (20) දින පෙරවරුවේ මෙම හඳුනාගැනීමේ පෙරට්ටුව පැවැත්විණි.
රක්ෂිත බන්ධනාගාරගත වූ කොස්ගොඩ තාරකගේ නායකත්වයෙන් වූ මෙම පාතාල කල්ලිය පසුගිය 22 දින මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයකට කඩා වැදී ගිනි අවිපෙන්වා රන් ආභරණ මංකොල්ලකා තිබිණ.

එම අවස්ථාවේ එම පාතාල කල්ලිය සමග ‍පොලිස් වෙඩි හුවමාරුවක් සිදුවූ අතර එම කල්ලියේ වෙඩි ප්‍රහාරයකින් ‍පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතා මරුමුවට පත්වූ අතර තවත් ‍පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකුද සිවිල් වැසියන් දෙදෙනකුටද බරපතළ තුවාල සිදුවිය.