වියළි මිරිස් කරළක උපායකින් සිය බිරිඳගේ අනියම් සැමියා අතටම අල්ලාගෙන බිරිය සමග සොර සැමියා ද බිරිඳගේ මව්පියන්ට භාර දුන් පුද්ගලයෙකු පිළිබඳව කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වේ.
මෙම පුද්ගලයා මැදිවියේ පසුවන පෙදරේරුවෙකුවන අතර තවමත් දරුමල්ලන් නොමැති ඔහුගේ බිරිඳ ද මැදිවියේ පසුවූවත් ඇයට ඇත්තේ තරුණ පෙනුමක් බව කියැවේ.
සිය වෘත්තියේ දක්ෂතාව නිසාම ඔහුට දුරබැහැර ප්‍රදේශවල පවා වැඩ ලැබෙන අතර එවන් අවස්ථාවල දින 3ක් වැඩ කොට යළි පැමිණීම අනිවාර්ය කොටගෙන සිටියේ ය.
මේ අතර ඔහුගේ බිරිඳ නිවස ආසන්නයේ සිටි තරුණයෙකු සමග අනියම් ඇසුරක් අරඹා ඇත්තේ සැමියාගේ දින තුනක නිවාඩුව ද ප්‍රයෝජනයට ගනිමිනි.
මේ පිළිබඳ ඇසුණු ආරංචි පිළිබඳ සොයා බැලූ සැමියා එම ආරංචි සත්‍යයක් බව පසක් කරගත් පසු දුරබැහැර වැඩකට යන මුවාවෙන් නිවසෙන් පිට වී ගොස් ඇත්තේ සිය බිරිඳට ද කිසිදු සැකයක් ඇති නොවන පරිද්දෙනි.
එසේ ගිය ඔහු හදිසියේම දෙවැනි දින රාත්‍රියේ නිවසට පැමිණ ඇත්තේ බිරිඳගේ මව්පියන් සහ සොයුරන්ද සමගිනි.
එසේ පැමිණි ඔහු බිරිඳව නිවසෙන් එළියට කැඳවාගෙන තම අතෙහි වූ වියළි මිරිස් කරල් කිහිපයක් නිවසේ සාලයේ ගිනි තබා නැවත එළියට පැමිණ ඔවුන් සමග සුහද කතාබහක ද නිරත වී ඇත.
සුළු මොහොතකින් මිරිස් දුම වැදී කහිමින්, කිවිසුම් අරිමින් නිවස තුළ සැඟව සිටි අනියම් පුරුෂයාට එළියට පැමිණීමට සිදුව ඇති අතර කිසිදු ආරවුලක් ඇති කර නොගත් ඔහු තවදුරටත් ඇය සමග දීග කෑමට නොහැකි බව පවසා එම තරුණයා සමග ඇය ඇගේ දෙමාපියන්ට භාර කර තිබේ.
ඉන් ද නොනැවතුණු ඔහු මේ පිළිබඳව පොලීසියේ පැමිණිල්ලක් කිරීමට තමා සමග පසු දින පැමිණෙන ලෙස ඇගේ දෙමාපියන්ට සුහද ඉල්ලීමක් කිරීමට ද අමතක කර නැත.

