මිලේච්ඡ කොටි ත්‍රස්තවාදීන් පරදවා අදට වසර 9යි

මිලේච්ඡ කොටි ත්‍රස්තවාදීන් පරදවා අදට වසර 9යි
Spread the love
රටේ සැබෑ නිදහස සුරක්ෂිත කරමින් වීරෝදාර රණවිරුවන් කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරදවා වසර 09 ක් අද(18) දිනට  සපිරෙන බැවින් ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී කටයුතු සූදානම් කොට ඇත.
ඊට සමගාමීව දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් ශ්‍රී ලංකා යුද හමුදාව පවත්වන ආලෝක පූජාව කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර ඊට නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහය ලබාදෙනු ඇත.රට වෙනුවෙන් ජීවිතය පූජා කළ 28,619 ක් වූ රණවිරුවන් සමරා පහන් දැල්වීම මෙහිදී සිදුවන්නේද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. 
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම මියගිය රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන්ද ඊට එක්වන බව යුද හමුදා මූලස්ථානය සඳහන් කළ අතර දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන, බල සේනා, යුද හමුදා පුහුණු පාසල්, රෙජිමේන්තු මධ්‍යස්ථාන මෙන්ම ක්ෂේත්‍ර මූලස්ථානවලද අද පෙරවරු 9.30 ට රණවිරු සැමරුම් පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.
මෙවර රණවිරු සැමරුමට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 50 දෙනෙකුට විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම් පිරිනැමීම විෂේශත්වයකි.