මූල්‍ය සහ ලීසිං සමාගම්වල නීතිවිරෝධී ක්‍රියා විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

මූල්‍ය සහ ලීසිං සමාගම්වල නීතිවිරෝධී ක්‍රියා විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්
Spread the love

මූල්‍ය සමාගම් බිඳ වැටීම සහ ලීසිං ආයතනවල අයථා ක්‍රියාකාරීත්වය හමුවේ අකර්මන්‍යව සිටීම ගැන ජනාධිපති රාජපක්ෂ මහතා ඊයේ (16) රැස්වීමේදී මහ බැංකු ප්‍රධානීන්ට අවවාද කළ බවත් ඊට ප්‍රතිචාර ලෙස මහ බැංකු අධිපති විසින් මූල්‍ය සහ ලීසිං සමාගම්වල අක්‍රමික සහ නීතිවිරෝධී ක්‍රියා විමර්ශනය පිණිස ත්‍රිපුද්ගල කමිටුවක් ස්ථාපනය කරනු ලැබූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (17) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

එහි වැඩි දුරටත් සදහන් වන ආකාරයට ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා කමිටු ප්‍රධානියා ලෙස පත්වී සිටින අතර මහබැංකුවේ නීති අධ්‍යක්ෂ කේ.ජී.ජී. සිරිකුමාර සහ බැංකු නොවන මූල්‍ය ආයතන පිළිබඳ අධීක්ෂණ අධ්‍යක්ෂ ජේ.පී. ගම්ලත් යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.

පොදුවේ සියලු මූල්‍ය සමාගම්වල සහ විශේෂයෙන් මහබැංකුව සමග ලියාපදිංචි වී නැති ලීසිං සමාගම්වල ක්‍රියාකාරීත්වය කමිටුවේ විමර්ශනයට ලක් වෙයි. කමිටු වාර්තාව දින 14ක් ඇතුළත භාරදිය යුතු බව නියම කර ඇත.