දිවයින පුරා ප්‍රදේශ රැසකට බලපා තිබෙන දැඩි නියං කාලගුණික තත්ත්වය මේ මස අග පමණ වන විට අඩු වෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ මස අග පමණ වන විට වැසි ඇති වන ලකුණු ඇති බවත්, ලබන ඔක්තෝබර් හා නොවැම්බර් කාලය තුළ දෙවන අන්තර් වැසි මෝසම ආරම්භ වූ පසුව නියං තත්ත්වය පහව යනු ඇති බවත්, කාලගුණ විද්‍යා අනාවැකිකරණ අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය පැවසුවා ය.
දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක එකොළහක හයලක්ෂයකට අධික පිරිසකට බලපෑම් එල්ල වී ඇති අතර බොහෝ ප්‍රදේශවල ගංගා සහ වැව් ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළ බැස ඇත. පානීය ජල අවශ්‍යතා සහ වගා සඳහා අවශ්‍ය ජලය සපයා ගැනීමට නොහැකි වීම මත එම පිරිස් දැඩි පීඩාවට පත්වී තිබේ.
මේ අතර මේ දිනවල නුවරඑළිය ඇතුළු බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය අනෙක් දිනවලට සාපේක්ෂව, අංශක දෙක තුනකින් ඉහළ ගොස් ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. විශේෂයෙන් ම උතුර, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත්, නුවරඑළිය, රත්නපුරය, මහනුවර වැනි දිස්ත්‍රික්කවලත් මෙම තත්ත්වය වැඩි වශයෙන් දැකිය හැකි ය.