වර්තමානයේ බොහෝ කතාබහට ලක්වෙන මාතෘකාවක් තමයි මේ ප්‍රෙශර් කියන වචනය. ප්‍රෙශර් කියන්නෙ සරලවම ගත්තොත් පීඩනය. ඒත් මේ ප්‍රෙශර් කියන වචනය බොහෝ ක්ශේත්‍ර වල භාවිතා වුවත් යම් කෙනෙකුගෙන් ප්‍රෙශර් වැඩි දැයි ඔබ විමසුවහොත් එම පුද්ගලයා දන්නවා ඔබ මේ විමසන්නේ කුමන ප්‍රෙශර් එකක් ගැනද යන බව. ඒතමයි අධි රුධිර පීඩනය (High blood pressure). සාමාන්‍ය භාවිතයේ ප්‍රෙශර් එක කියා කියන්නේ මේ අධි රුධිර පීඩනයටම තමයි.
මොකක්ද මේ අධි රුධිර පීඩනය (high blood pressure) කියල කියන්නේ?
වර්තමානයේ සෑම නිවසකම පාහේ වතුර මෝටරයක් තිබෙනවා. මෙමගින් කරන්නේ බලයක් යොදා ජලය උස් තැනකට එනම් වතුර ටැංකියට පොම්ප කිරීමයි. මෙවැනි කාර්‍යක් අප ශරීරය තුලත් සිදු වෙනවා. එය සිදු කරන්නේ අපේ හෘදය(heart) මගිනි. එනම් අප ශරීරයේ සෑම මාංශ පේශියකටම, අවයවයකටම රුධිරය සපයනු ලබන්න්නේ හෘදය මගිනි.
එය සිදුකරන්නේ හෘදය මගින් බලයක් යොදා රුධිරය පොම්ප කිරීම මගිනි. එම බලය නිසා රුධිරය රුධිර නාල ඔස්සේ ගමන් කරන විට, එම නාල බිත්ති මගින් රුධිරය වෙත ඇතිකරනු ලබන පීඩනයට අප රුධිර පීඩනය කියා කියනවා. මෙහි සාමාන්‍ය අගය ලෙස වර්තමානයේ පිලිගනු ලබන්නේ රසදිය මිලිමීටර් 130/80 වේ.
මෙම අගයට වඩා ඉහල ගියවිට එයට අධි රුධිර පීඩනය කියා කියනවා.මෙහිදී බොහෝ දෙනෙකුට ඇතිවන ගැටලුවක් තමයි මෙහි අගයන් දෙකකින් දක්වා ඇත්තේ පීඩන පරාසයක්ද යන්නයි. ඇත්තෙන්ම එය පරාසයක් නොවේ.එය අගයන් දෙකකි.මෙහි මුල් අගය එනම් වැඩි අගයට systolic blood pressure හෙවත් හෘදය වැඩි බලයක් යොදා රුධිරය පොම්ප කරන පීඩනය වනවා. එතකොට අනික් අගය වන්නේ හෘදය සැහැල්ලු වනවිට රුධිර නාල මත ඇතිකරන පීඩනය හෙවත් Diastolic blood pressure වේ.
රුධිර නාල මත ඇතිකරන අධික පීඩනය මැඩ පවත්වා ගනිමින් රුධිරය පොම්ප කිරීමට හෘදයට සෑහෙන වෙහෙසක් දැරිය යුතුවන හෙයින් හෘදයට හානි පැමිණීමට මෙහිදී බොහෝ ඉඩකඩ තිබෙනවා. සමහර රෝගීන්ට වකුගඩු ආබාධ වැනි වෙනත් රෝග නිසාද අධි රුධිර පීඩනය ඇතිවියහැකිය.
මුල්ම අවධි වල නිවැරදි ආහාර රටාවක් සහ ජීවන රටාවක් පවත්වා ගැනීම තුලින් රෝගය පාලනය කලහැකි අතර පසු අවධි වලදී වෛද්‍ය නිර්දේශ මත ඖෂධ ලබාගැනීම අනිවාර්‍ය වෙනවා.

මෙම රෝගය වැලදීමේ වැඩි අවදානමක් ඇත්තේ කාටද?
- වයස අවුරුදු 55 ඉක්මවූ පිරිමි පුද්ගලයන් සහ වයස අවුරුදු 65 ඉක්මවු ස්ත්‍රීන්.
- මානසික ආතතිය,අධි රුධිරය පීඩනය හෝ හෘදයාබාධ පිළිබඳව පවුල් ඉතිහාසයක් ඇති අය.
- ස්ථුලතාවය,ව්‍යායාම අඩුකම,අධික සෝඩියම් ප්‍රමාණයක් අඩංගු අහාර නිතර ගැනීම.
- දුම්වැටි,මධ්‍යසාර හෝ තහනම් ඖෂධ හෝ රසායන ද්‍රව්‍ය භාවිතය.
- දියවැඩියාව,වකුගඩු රෝග,තයිරොය්ඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග,අධි වෘක්ක ග්‍රන්ථිය ආශ්‍රිත රෝග ඇති අය.
- සමහර ඖෂධ එනම් ස්ටෙරොය්ඩ කාන්ඩයට අයත් ඖෂධ,උපත්පාලන ගිලින පෙති කාලයක් තිස්සේ භාවිතා කරන අය.
අධි රුධිර පීඩන රෝග ලක්ශණ මොනවාද?
බොහෝ අයට රෝග ලක්ශණ පෙන්වන්නේ නැහැ.එනිසා ඉහත අවදානම් කාන්ඩ වලට ඔබ අයත් නම් ඔබගේ රුධිර පීඩනය පරීක්ශා කරවා ගතයුතු වෙනවා.සමහර අයට රෝග ලක්ශණ පෙන්විය හැකිය.එනම්,
- නිතර පවතින හිස කැක්කුම.
- බොදවී පෙනීම.
- පපුවේ කැක්කුම
- ඇගට පන නැති ගතිය.
- හුස්ම ගැනීමේ අපහසුතාවය.
- නාසයෙන් රුධිරය ගැලීම.
ඉහත රෝගලක්ෂණ ඔබටත් තිබේනම් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ලබාගතයුතු වේ.
රුධිර පීඩනය හදුනාගන්නේ කෙසේද?
මෙය සුදුසුකම් ලත් වෛද්‍යවරයකු විසින් ඔබව පරීක්ශා කිරීමෙන් පසුව ඔබගේ පවුල් ඉතිහාසය, ජීවන රටාව, අහාර රටාව සහ රුධිර පීඩනය මැන බැලීම, රුධිර පරීක්ශා ආදිය සිදුකර ඔබට රුධිර පීඩනය වැලදී ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි සොයා බලනවා.
එහිදී හදුනාගත් කාරණා අනුව ඔබට මෙම තත්වය අහාර රටාව ජීවන රටාව වෙනස් කිරීම මගින් පාලනය කල හැකිද, එසේත් නැතිනම් ඖෂධ ප්‍රතිකාර ලබාගත යුතුද යන්න තීරනය කරනු ලබනවා. එනම් වෛද්‍ය නිර්දේශය මත පමණය් ඔබ ඖෂධ ප්‍රතිකාර ලබාගතයුතු වන්නේ.
එසේනම් මේ සදහා ලබාදෙන ඖෂධ මොනවාද?
මෙහිදී ප්‍රධාන වශයෙන්ම රුධිර පීඩනය අඩුකරන ඖෂධ භාවිතා කරනවා.මීට අමතරව ඔබට රුධිර පීඩනය වැඩිවීමට වෙනත් රෝග තත්වයන්ද බලපාන්නේ නම් හෝ ඒවා නිසා අවදානමක් පවතින්නේ නම් ඒ සදහා ද ඖෂධ නිර්දේශ කරනු ලබනවා.එනම් කොලෙස්ටරෝල් අඩු කිරීමට ලබාදෙන ඖෂධ මෙන්ම රුධිරගත සීනි මට්ටම අඩු කරන ඖෂධ ඉන් ප්‍රධාන වේ.

රුධිර පීඩනය අඩුකරන ඖෂධ
මෙම ඖෂධ ක්‍රමානුකූලව ලබාගන්නා විට ඔබගේ අධික රුධිර පීඩනය සාමාන්‍ය තත්වයට පත්වන අතරම බොහෝ අවදානම් තත්වයන්ගෙන්ද ඔබව ආරක්ෂා කරනු ලබනවා.මේවා කාන්ඩ කීපයකට අයත් වෙනවා.එසේම එක් රෝගියා අනුව ලබාදෙන ඖෂධ වෙනස්වන අතර යම් රෝගියෙකුට මෙම ඖෂධ කාන්ඩ අතුරින් එක කාන්ඩයක හෝ කාන්ඩ කීපයක ඖෂධ නිර්දේශ කල හැකිය.
1.මුත්‍රා කාරක ඖෂධ (diuretics)
මේ යටතට ප්‍රධාන වශයෙන්ම Hydrochlorothiazide (හය්ඩ්‍රොක්ලෝරොතයසය්ඩ්) H.C.T.,Frusemide (ෆෘසමය්ඩ්) හෙවත් ලැසික්ස් (lasix) පෙත්ත සහ Spiranolactone( ස්පිරනොලැක්ටෝන්) වේ.මෙම ඖෂධ මගින් වකුගඩු වලින් සෝඩියම් සහ ක්ලෝරයිඩ් අයන අවශෝෂණය අඩු කරනවා. එවිට ජලය ප්‍රති අවශෝෂණය අඩුවීමෙන් මුත්‍රා ලෙස වැඩි ජල ප්‍රමාණයක් පිටවෙනවා. ශරීරය තුල ජල පරිමාව අඩුවීම නිසා රුධිර පීඩනය අඩුවන අතර හෘද අකරණිය(heart failure) රෝගීන්ගේ කකුල් ඉදිමීම් තත්වයද මෙමගින් අඩු කරනවා.මෙම ඖෂධ වලින් වැඩිපුර ජලය ඉවත් කරන නිසා වැඩිපුර වාරගනනක් මුත්‍රා පිටවීම සිදුවේ.එය බියවීමට කාරණාවක් නොවේ.spiranolactone පොටෑසියම් රදවා තබාගන්නා අතර අනික් ඖෂධ දෙක මගින් පොටෑසියම් මට්ටම අඩුවියහැක.
2.බීටා බ්ලොකර්ස්(beta blockers) හෙවත් ලෝල් කාණ්ඩ කාණ්ඩයේ ඖෂධ
මේවා ඖෂධ විද්‍යාත්මකව beta blocker නම් කාන්ඩයට අයත් වන අතර ලෝල් කාන්ඩය ලෙස අපගේ පහසුවට ඒවා හදුන්වන්නේ ඒ සෑම ඖෂධයක්ම lol(ලෝල්) නම් කොටසින් අවසන් වන නිසාය.එනම් atenolol(ඇටෙනොලෝල්), Bisoprolol (බිසොප්‍රොලෝල්),Metoprolol (මෙටප්‍රොලෝල්) Carvedilol (කාවෙඩිලෝල්) ආදිය වේ. මෙහිදී මෙම නම් සදහන් කර තිබෙන්නේ ඖෂධීය නාමයෙනි.
(generic name)රජයේ රෝහල් වල මෙම නාමයන් භාවිතා වූවත් පුද්ගලික අංශයේ මේවයේ වෙලද නාම (brand names)විශාල ප්‍රමාණයක් ඇත. වෙලද නාම යටතේ මේවා ලබගත්තද එවායේ ඖෂධීය නාමයද සදහන් කර තිබෙනවා. මෙම ඖෂධ ප්‍රධාන වශයෙන්ම රුධිර පීඩනය අඩුකිරීමට භාවිතා කලත්.බය්පාස් සැත්කම් කල හෝ ස්ටෙන්ට් (stent – කිරීටක ධමනි අවහිරතාව ඉවත් කිරීමට යොදන තුනි කම්බි දැලක් වැනි ව්‍යුහයකි)යොදන ලද රෝගීන්ට හෘදයේ ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත්කිරීම ඉක්මන් කිරීමටත්, අසාමාන්‍ය හෘද ස්පන්දන (cardiac arythmia) සහිත රෝගීන්ටත්, මෙම ඖෂධ ලබා දෙනවා. නිර්දේශ කර ඇති පරිදි නිවැරදිව භාවිතා කිරීම තුලින් ඉහල ප්‍රතිඵල ලබා ගත හැක. මෙම ඖෂධ ලබාගන්නා අතතුර ඔබ වෙනත් ඖෂධ ලබාගන්නේනම් විශේෂයෙන්ම හතිය (ඇදුම) ඒබව ඔබගේ වෛද්‍යවරයාට දැන්විය යුතු වේ.
3.ප්‍රිල් (pril) කාන්ඩයේ ඖෂධ
ප්‍රිල් කාන්ඩය ලෙස ඇත්තටම වර්ගීකරණයක් නැහැ. එය මතක තබාගැනීමේ පහසුවට සකසන ලද්දක්. මෙම ඖෂධ අයත්වන්නේ angiotenisin converting enzyme inhibitor හෙවත් ACE inhibitor නම් කාන්ඩයටය. Captoril( කැප්ටොප්‍රිල් ), Enalapril (එනලප්‍රිල්), Ramipril (රැමිප්‍රිල්) මේ යටතට ගැනෙන ඖෂධ වෙනවා. මේවා මගින් angiotenisin 2 නම් එන්සයිමය ක්‍රියා විරහිත කරනවා. එමගින් රුධිර වාහීනි පටුවීම අඩුකර රුධිර පීඩනය අඩුකරනවා.
මෙම ඖෂධ රුධිර පීඩනය අඩු කිරීමට අමතරව හෘදයාබාධයකට පසුව හෘදය නැවත යථා තත්වයට පත්වීම වේගවත් කිරීමටත්, වකුගඩු ආශ්‍රිතව ඇතිවන ඩයබෙටික් නෙෆ්‍රොපති (Diabetic nephropathy) නම් තත්වය ඇති රෝගීන්ටත් ලබා දෙනවා.මෙහි කැප්ටොප්‍රිල් කෑමට පැය එකකට පමණ පෙර ගතයුතු අතර අනිකුත් ඖෂධ සදහා එය එතරම් බල නොපවත්වය්.මෙම ඖෂධ භාවිතයේදි සමහර රෝගීන්ට වියලි කැස්ස ඇතිවන අතර පොටෑසියම් මට්ටමද වැඩි විය හැක. එබැවින් පොටෑසියම් වැඩිපුර අඩංගු ආහාර ගැනීම අවම කල යුතුය. එසේම වේදනා නාශක ඖෂධ ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.
4. කැල්සියම් චැනල් බ්ලොකර්ස් (calcium chanel blockers)
රුධිර වාහිනී පලල් කිරීමෙන් රුධිර පීඩනය අඩු කිරීම මෙම ඖෂධ මගින් සිදුවේ.රුධිර පීඩනය අඩු කිරීමට අමතරව,හෘද ස්පන්දනය ක්‍රමානුකූල කිරීමත්,පපුවේ කැක්කුම ඒම වැලැක්වීමත් මෙම ඖෂධ මගින් සිදුකරන අනිකුත් කාර්‍යන් වේ.මේ යටතට නිෆිඩිපින්(Nifedipine ),ඇම්ලොඩිපින්(Amlodipine),ඩිල්ටියසම්(Diltiazem) සහ වෙරපමිල්(verapamil) අයත් වේ.බඩ වියලීම(constipation),තෙහෙට්ටු ගතියක් දැනීම,හිස කැක්කුම,කකුල් වල පහල කොටසේ ඉදිමුම මෙම ඖෂධ වල සුලභ අතුරු ආබාධ වන අතර පුද්ගලයා අනුව ඒවා වෙනස් වේ.
5.ඇන්ජියෝටෙනිසින් රිසෙප්ටර් බ්ලොකර්ස් (angiotenisin receptor blockers)
මෙම කාන්ඩයේ සෑම ඖෂධයකම පාහේ නාමය අවසන් වන්නේ ‘සාටන්’ යන කොටසෙනි.එනම් ලොසාටන්(losartan ), කැන්ඩසාටන්(candersartan), ටෙල්මිසාටන්(telmisartan) ආදිය වේ. මෙම ඖෂධ වල ක්‍රියාකාරිත්වය බොහෝදුරට ප්‍රිල්(pril) කාන්ඩයේ ඖෂධ වලට සමාන වේ.
නමුත් මෙම ඖෂධ වලින් වියලි කැස්ස ඇතිනොවේ. එබැවින් ප්‍රිල් කාන්ඩයේ ඖෂධ ලබාදුන් රෝගියෙකුට වියලි කැස්ස ඇති වුව හොත් ඊලගට ලබා දෙනුයේ මෙම කාන්ඩයේ ඖෂධ වේ. එසේ නොමැතිව කෙලින්ම මෙම කාන්ඩයේ ඖෂධ ලබාදෙන අවස්ථාද තිබේ. නමුත් කිසිම විටෙක ප්‍රිල් කාන්ඩයේ ඖෂධ සමග මෙම කාන්ඩයේ ඖෂධ එකවර ලබා නොදේ. මෙම කාන්ඩයේ ඖෂධවලත් යම් ආකාරයක මුත්‍රකාරක ගති ලක්ශණ ඇති බැවින් ඇතැම් රෝගීන්ට මුත්‍රා යන වාරගනන වැඩිවියහැක.
6. ඇල්ෆා බ්ලොකර්ස්(alfa blockers )
මේවාද අධි රුධිර පීඩනය සදහා ලබාදෙන ඖෂධ කාන්ඩයකි. නමුත් මේවා ඉහත සදහන් අනිකුත් ඖෂධ කාන්ඩ මෙන් හෘද අකරණිය (heart failure), පපුවේ කැක්කුම(Angina) අවස්ථා වල භාවිතා කල නොහැක. මෙම ඖෂධ වැඩි මාත්‍රා වලින් ලබාදෙන අවස්ථා වල මේවා මගින් ශරීරය තුල තරල එකතුවීම සිදුවේ. එය අඩු කිරීම සදහා එවන් අවස්ථා වල මේවා සමග මුත්‍රා කාරක ඖෂධ (diuretics) බොහෝවිට නිර්දේශ කරනු ලැබේ. ප්‍රථම වරට මෙම ඖෂධය ලබාගන්නා රෝගියකුට වාඩිවීසිට මෙය ගන්නා ලෙසට උපදෙස් දෙනුයේ කරකැවිල්ල ක්ලාන්තය අවම කිරීමටය.
මෙහිදී ඉදිරිපත්කල ඖෂධ සියල්ලම ඖෂධීය නාමයෙන් දක්වා ඇති අතර රජයේ රෝහල් වලින් ඔබට එම ඖෂධ ලැබෙන්නේ ඖෂධීය නාමයෙනි.නමුත් ඔබ ඖෂධ මිලදී ගෙන භාවිතා කරන කෙනෙකු නම් ඒවා බොහෝවිට දක්නට ලැබෙන්නේ වෙලද නාමයෙනි (brand Name).එසේ වුවත් ඒ සෑම ඖෂධයකම ඖෂධීය නාමයද ඔබ දැන සිටියයුතු වෙනවා.
එසේම මෙම ඖෂධ ටික කලක් භාවිතා කරනවිට ඔබගේ රුධිර පීඩනය සාමාන්‍ය තත්වයට පත්වෙනවා.මේ අවස්ථාවේ බොහෝ රෝගීන්ගේ ආකල්පය වන්නේ ‘දැන් ප්‍රෙශර් හොඳයි ‘ යන්නයි. එවිට බොහෝ අය ඖෂධ නොගෙන සිටීම හෝ හරියට නොගැනීම සිදුකරනවා. සත්‍ය වන්නේ මේවායින් රෝගය පාලනය කර තබාගැනීම පමණයි කරනු ලබන්නේ. එනම් සුවවීමක් සිදුවන්නේ නැහැ.
එසේ වුවත් ඒවා මගින් ඔබට ඉතා සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමට අවස්ථාව සලසා දෙන අතරතුර අනිකුත් අවදානම් තත්වයන්ගෙන්ද ඔබව ආරක්ෂා කරනවා. එබැවින් ඒවායේ නියම ප්‍රතිඵල ලබාගැනීමට නියමිත මාත්‍රාව නිවැරදිව භාවිතා කලයුතු වෙනවා.
කිසිම විටෙක ඔබගේ යහලු මිත්‍රාදීන්, අසල්වැසියන් හෝ නෑදෑයන් කියූ නිසා කිසිලෙසකින් ඒවා ලබාගන්නා ආකාරය වෙනස් නොකරන්න. එසේම මෙම ඖෂධ ලබාගන්නා අතරතුර අයූර්වේද හෝ වෙනත් වෛද්‍ය ක්‍රම වලට අයත් ඖෂධ එකට භාවිතා කිරීමෙන් හානිකර තත්වයන් ඇතිවීමට බොහෝදුරට ඉඩඇත.එබැවින් එවන් අව්ස්ථා වලදී වෛද්‍යවරයාට ඒබව අනිවාර්යයෙන් දන්වන්න.
මෙහිදී අප ඖෂධ කාන්ඩ කිහිපයක් පිලිබදව විස්තර සැකෙවින් ඉදිරිපත් කල අතර මෙවන් ලිපියකින් වඩාත් සවිස්තරව කරුණු ඉදිරිපත් කිරීම අපහසු වේ. මේ පිළිබඳව ඔබට සවිස්තරව දැන ගැනීමට අවශ්‍යනම් ඔබගේ රෝහලේ ඖෂධවේදි (Pharmacist) හමුවන්න.

එච්.එම්. අමිල කාන්චන හීන්කෙන්ද, ඖෂධවේදී, බාහිර රෝගී අංශය, ජාතික රෝහල, කොළඹ