ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්‌ඩායම නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්‌වැල්ල මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඊයේ (13 දා) නියෝග කල අතර ඔහුව ප්‍රවාහන අමාත්‍යාංශයේ වෛද්‍ය මණ්‌ඩලය වෙත යොමුකර කායික හා මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාවක් කැඳවීමටද පියවර ගන්නා ලෙසට නියෝග කෙරිණි.
බීමත්ව රිය පැදවීම, අපරික්‍ෂාකාරී ලෙස රිය පදවා රිය අනතුරක් සිදු කිරීම, එම රිය අනතුර පිළිබඳව පොලිසියට කරුණු වාර්තා නොකිරීම ඇතුළු චෝදනා හතරක් යටතේ නාරාහේන්පිට පොලිසිය විසින් රමිත් රඹුක්‌වැල්ල මහතාට එරෙහිව පවරා තිබූ නඩුව කැඳවූ අවස්‌ථාවේදී අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා එම නියෝගය කළේය. එම චෝදනා හතරටම නිවැරදිකරු බව රමිත් රඹුක්‌වැල්ල මහතා ප්‍රකාශ කළ අතර ඒ අනුව ඔහු රුපියල් ලක්‍ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරයා නඩු විභාගය ලබන ජුනි 19 වැනිදා ආරම්භ කිරීමට තීරණය කළ අතර පැමිණිල්ලේ පළමුවන සාක්‍ෂිකරුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යෑවීමටද අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.
ඉකුත් 09 වැනිදා නාවල නාරාහේන්පිට ලේක් ඩ්‍රයිව් පාරේදී යතුරු පැදියක් අනතුරකට ලක්‌කර විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනකුට තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ නාරාහේන්පිට පොලිසිය රමිත් රඹුක්‌වැල්ල මහතාට එරෙහිව එම නඩුව පවරා තිබිණි.
බීමත්ව රිය පැදවීම ඇතුළු චෝදනා පහක් යටතේ 2016 සැප්තැම්බර් 28 වැනි දිනද රමිත් රඹුක්‌වැල්ල මහතාට එරෙහිව පොලිසිය නඩු පවරා තිබිණි. එම නඩුව විභාග කළ කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් අධිකරණය 2016.ඔක්‌තෝබර් 11 වැනිදා ඔහුට රුපියල් 29,000 දඩයක් ගෙවීමට නියම කොට රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමටද නියෝග කොට තිබිණි.